Archive for April, 2009

ඔබ ගැන මතකය රිදවයි මා හද (අවාසනාවට සැබෑවටම සිදුවූ දෙයකි.)

අපට මේ ජීවිත කාලය පුරාවටම විවිධාකාර මිනිසුන් හමුවේවි. සමහරුන් මග තොටදී නිමේෂයකට පමණක් වන අතර තවත් කෙනෙක් දින හෝ මාස ගණනකට පමණක් වේවි. එහෙත් බොහොම ස්වල්ප දෙනෙක් අප සිත් හී සදා නොමියෙන සටහන් තබනු ඇත. ඔවුන් අප අතර යම් දිනෙක නැති වුවත් සදා නොමියෙන ඒ මතකය එබව අමතක කරනු ඇත. ඒ ඇය මා සිත් හී තබා ගිය මතක සටහන සේය ……………

ඔබ මාගේ ප්‍රාණ සම මිතුරියයි……..

අප දෙදෙන හා එක්ව

කල කී හැම දේම

රැඳී තියෙවි මාහද  මා මියෙනතුරා ……………………

උපන් දින සැමරුමක් ලෙසින්

ඔබ මට තිළිණ කල

ඒ පුංචි ඔරලෝසුව

තවමත් මා මේසය මත

සිටී මා දෙසම බලා

නැත එහි දකින්නට වේලාවක්

එයද නිහඬය නිසොල්මන්ය

හරියටම ඒ ඔබ වාගේමය………………..

පටලාගෙන අතැගිලි

එකම දුම්රියේ එකම ආසනේ

අසුන්ගෙන අපි

අහස පොළොව ගැටලන්නට

තැතනු හැටි උදේ හවා

අද වාගෙයි තවමත් මට

මා ප්‍රිය ලබැඳි මිතුරිය………………..

ඔබ මාගේ ප්‍රාණ සම මිතුරියයි……..

සියලු දුක්ඛ දෝමනස්සයන් මාගේ

නිහඬව අසා දරා සිටියේ ඔබයි

පෑරුනු මා සිත සැමවිට

එකලස් කලේද ඔබමයි

එහෙත් ……….

රිදුනු ඔබ සිත සරි කරන්නට

හැකිවිනි දෝ මා හට

තවමත් සංකා දේ බිඳුනු මා සිත…………………….

පෙම් ලොවෙහි සවසක් පුරාවට

වූ කෙණෙහිලි කම් පැරදී

අපේ දිනුම නුදුරේම බව

මා හට පසක් කරන්නට

ඔබ ගත් වෙහෙසක තරම ?

ඒ එසේමැයි ……………..

අපි දිනුවෙමු.

ඔබත් මමත් ඔහුත්

අපමණ වූ ආසාවෙකින්

පුල පුලා බලා සිටි

එදවස උදාවිය …………

අසා ඇත්තෙමි

දෛවය සරදම් කරතැයි

මිනිසුන්ට ……….

එහෙත් මෙවන් වූ සරදමක් ?

මගේ මංගල ගමනේ

පුංචි මනාලිය වී මා

පතිකුල ගමනට සැරසෙන මොහොතේ

මා අභියසින් හිඳ සිනා සලන්නට සිටි

මා ප්‍රිය මිතුරිය……………

උදාවන විට එදවස

හැරදා ඔබ අප සැම

පිටව ගොස් සදහටම

සදිනක් සපිරෙතැයි

සිතුවෙම් ද? කිසි දිනෙක…………………

සිනා පිරුනු මුවින් සගවා ගත්,

හදවතේ නොපෙනෙනා තැනක රඳවා ගත්,

ඔබේ සිත් රිදුම් හට දැන් පියාපත් ලැබී ඇතැයි

සිතේ මා හට

පියාපත් ලද රහස්

සවනක් සවනක් කරා පියා සලමින්

රහස් නොරහස් කරතියි ද,

හැගේ මා හට

එයට කම් නැත මා ප්‍රිය ලබැඳිය,

ඔබට එයින් නොමැත හානියක්

සුවසේ සිටිනු මැන නොසිතා එපවත්………………

පුංචි අහිංසකාවිය ………………

තවමත් ඔබ මා ළගින් මේ මෙතැන

ඉන්නා සේ හැගේ නිරතුරු

සියල් කල්හී මා සිත් හී

එලෙසින් ම ඔබ රැඳී සිටීවි………………

මගේ කුස තුළ පෙරළි කරන්නේත්

ඒ ඔබදෝ හෝයි විටෙක

මා සිත් හී උපදී කුකුසක්

එ සිතුවිල්ලත් ගෙනෙනුයේ

අපමණ සතුටකි රිදුනු මසිතට

ඒ එසේම වී නම් ……………..

එක් වේවි ආදරණිය මව් දියණියන් ලෙසින්

යළි වරක් අප දෙදෙන පෙර සේම සෙනෙහසින්………………..

(ඔබ මාගේ ප්‍රාණ සම මිතුරියයි……..

එලෙසින් සිදුවූවත් නොවූවත්)

පසු වදන

මා හට සිටි මාගේ ප්‍රාණ සම මිතුරිය අපගෙන් වෙන්ව ගොස් අද දිනට පස් මසකි. දරුණු වකුගඩු රෝගී තත්ත්වයකින් වසරකට වඩා වැඩි කාලයක් පීඩා විඳි ඇය අපගෙන් සදහටම සමු ගත්තේ හරියටම මාගේ විවහ උත්සවයට දින 6ක් තිබියදීය. මා ජීවිතයේ ලද ශෝකජනකම සිදුවීම එය බව නොකිවමනාය.

 

ඇයි මේ ????????????

දෙයියනේ කියලා දවස ගානේ වැටෙන Blogs බලමින් ඒවායින් ගත හැකි දෙයක් ඇත්නම් හිතේ රදවා ගනිමින් පහුගිය කාලේ ගත කලා

ඔහොම ඉන්න කොට ඉන්න කොට මටත් හිතුනා Blog ලියන්න දන්න දෙයක් තියෙනවා නම් කට්ටිය එක්ක බෙදා හදා ගන්න

ඒ නිසා ඔන්න මමත් පටන් ගත්තා Blog එකක් දැන් ටික දවසක් වෙනවා පටන් අරං

ඒත් දැන් දැන් වෙන දේවල් දකිද්දී සාමන්‍ය සමාජය තුළ වගේම මේ අපේ පුංචි සමාජය තුලත් කුහකත්වය රජයන්නට මාන බලන බවක් පෙනී යනවා එයට හේතු භුත වුන අයගේ යම් යම් Blog සටහන් නිසා කාටවත් කරදරයක් නැති අපේ අනිත් සහෝදර සහෝදරියන් කලබලයට පත් වෙලා

දන්නවද? ඒකෙන් වෙන්නේ අර අයගේ අදහස් මුදුන් පත් වෙන එක විතරක් නෙමෙයි මෙච්චර කාලයක් ලස්සන දේ වටිනා දේ වැදගත් දේ පමණක් Blog අවකාශයට මුදා හැරපු ඔබ සැම දෙනා කැති පොරෝ අරං යුද්ධයකට සැරසීමයි ඔබ සැමගේ නිර්මාණශීලි බාවය යට ගොස් වෛරී සිතුවිලි වලින් Blog අවකාශය පිරී යාමයි ඔබ හැමගේ තිබෙනා වූ නිර්මාණශීලීත්වය දැන් දැන් පෙරකී පුද්ගලයන් හට පහර දීමටත් මනා‍ සේ යොදා ගන්නා බවද පෙනී යමින් පවතිනවා

ඇයි මේ? ඒ වගේ පුද්ගලයින් හට මෙම Blog අවකාශ විනාශ කරන්න දෙන්නේ ඇයි? Anonymous ලා හට මෙච්චර වටිනා අපේ තැන විනාශ කරන්න ඉඩ හල යුතුද? සමහර අවස්ථාවන් වලදී ඔබ ම ඔබගේ Blog වල පවසන ආකාරයට කිසි දෙයකින් නොසැලී සිටීමේ හැකියාවක් ඔබට නැතිද? මා දකින ආකාරයට නම් අප කිසිවෙකු කලබල විය යුතු නැත කල යුතු එකම දෙය නම් එවැනි පුද්ගලයින් හදුනා ගෙන ඔවුන්ගෙන් ඈත්ව සිටීමයි ඔවුන් පවසන එකදු වදනකට වත් පිළිතුරැ නොදී සිටීමයි අවම තරමින් ඔවුන් යොදා තිබෙන Comments වල හරි වැරැද්දක් වත් නොසොයා සිටීමයි කොටින්ම කියනවා නම් ඔවුන් කියා ජාතියක් සිටීදැයි යන්න වත් නොපෙනෙන ලෙසින් සිටීමයි එවිට අපේ තැන අයෙත් අපේ තැනක් ම වනු ඇත

 

දිගු කල් දිනේවා අප ආයතනය !!!!!

අද අපේ ආයතනයේ නිවාඩු දෙනවා 20 වෙනකම් අවුරුදු නිවාඩු !!!!

දන්නවාද ? මගේ යාළුවෝ (වෙන ආයතන වල) ගොඩක් අයට රස්සාවන් අහිමි වෙලා, සමහර අයට එහෙම වෙන්න ඔන්න මෙන්න වගේ පව් !

මේ සැරේ ජනවාරි මාසේ අපිටත් වැටුප් වර්ධක (එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කියනවා නම් Increments) ලැබුනේ නැහැ. ඒත් දන්නවාද ? අපිට බෝනස් ලැබුණා ඊයේ.

ඒක ගොඩාක් වටිනවා මේ වෙලාවේ හැටියට. ඇත්තටම අපිටත් වැඩ අඩුයි. ඒත් ඉහල කළමණාකාරීත්වය සේවක පක්ෂය ගැන බොහොම හොඳින් හිතනවා. කවදාවත් එක්කෙනෙක්වවත් අස් කරන්න නම් හිතන්නේ නැහැ. මීට පෙර සේවා දායකයකු විසින් හිග මුදල් ගෙවීම පැහැර හැරි අවස්ථාවකදී, (සේවා දායකයා තරු 5 හෝටල් හිමිකරුවෙක්) සේවක වැටුප් ගෙවා ඇත්තේ ඉහල කළමණාකාරීත්වයේ පෞද්ගලික ධනයෙන්. ඒ වගේම අපේ ආයතනයේ සේවක මහතුන් කීප දෙනෙකු සිය පළමු වැටුප ලැබීමට පෙර ම බෝනස් ලබා ඇති අය. (අම්මෝ හරි genius කට්ටියක් වෙන්න ඇති කියලා හිතුනද?) ඒ කොහොමද දන්නවද? දෙසැම්බර් මාසේ හෝ අප්රෙල් මාසේ ආයතනයට සම්බන්ධ වුනු අයටත් අනිත් අයට වගේම බෝනස් දෙන්න තරම් අපේ ඉහල කළමණාකාරීත්වය කාරුණිකයි. ඒ වගේම සියලුම සේවක සේවිකාවන් හට අවශ්‍ය සෑම විටකදී ම, එක පවුලක් යන හැගීමෙන් යුතුව ඉදිරිපත් වී, හැකි උපකාරය කිරීමට තරම් ඔවුන් කටයුතු කරනවා. සුළු සේවක මහතකුගේ බිරිඳ, පිළිකා රෝගයක් නිසා රෝගී ව සිටි අවස්ථාවේ සිට අවසාන මොහොත දක්වා සියළුම විය හියදම් දරන ලද්දේ ආයතනය විසින්.

කවදා හරි දවසක මේ මාස කිහිපයේ ‍වැටුප් දෙන්න අමාරුයි, හැකි නම් ඉන්න අපහසු නම් යන්න කිව්වත් මම නම් යන්නේ නැහැ. මට හැකි අන්තිම මොහොත දක්වා ආයතනයට කළ හැකි උපරිම සේවය කිරීමයි මගේ බලාපොරොත්තුව !!!

 

ආදරණීය මෙරුවා !!!

අස්ථීර වූ ලෝකයේ අස්ථීරත්වය විතරක් ස්ථීරව පවතිව බව වටහා නොගෙන,

අන් හැම දේම විගසින් විනාශ වූවත් තමන්ට එය අදාල නොවන බව සිතාගෙන

සිටින ආදරණීය ඔබට හැකිනම් මෙන්න බේරන්න මේ ‍මෙරුවා !!!

අනේ පව් !

ඇති යාන්තම් දැන්වත් තේරුනා…

මොකද්ද ?

ඒක…

ඒක කිව්වේ ?

ඒක කිව්වේ, මං පව් කියන එක.

ඔයාට වැරදිලා…

ඇයි ?

ඔයාට නෙමෙයි පව් කිව්වේ…

එහෙනම් ?

අර මෙරුවාට.

මොනවා … මෙරුවාට ?

බලන්නකෝ ඒ සතා විදින දුක. තටු දෙකම වතුර බිංදුවේ ඇලිලා.

අනේ ! ඌව බේරන්නකෝ…

මට බැහැ !!!

බැහැ ?

ඔව් බැහැ තමයි.

එහෙනම් අයින් වෙන්න මං බේරන්නම්.

නැත්තම් ඉක්මනට ඌ මැරේවි.

මැරිද්දෙන් !

නපුරා !

අනේ ඇත්තට ඔයාට නම් පිස්සු. ඔයා බේරුවත් නැතත් තව මිනිත්තු පහක් හයක් ඇතුලත ඔය සතා අනිවාර්යයෙන් මැරෙනවා. මට දුක මෙච්චර වෙලා මං කියාපු ඒවා නෙමෙයි අහගෙන ඉදලා තියෙන්නේ, මැරෙන්න දගලන මෙරුවෙක් ගැන හිත හිතා ඉදලා.

අනේ පව් !

මෙරුවා ද ?

නෑ … ඔයා !!!

 

සඳට නොදැනෙන සඳ

ඵලක් නැති සඳ කඳුළු මොකටද -  ගලක් දියවෙන තරම් හෙලුවට

ඒත් ඉකි ලයි පාළු වූ සිත         – ඔබත් නැති සඳ සඳක් කෝ මට

ඇයි ද හිමි සඳ වෙන්ව මෙලෙසින -     ඔබට මා කළ වරද කිව මැන

බැන්ද පෙම් සිත බිඳුනු විගසින     – නොකියා එපවත් කිම් ද නිහඩව

මව්ගේ වදනින් පිය සෙනෙහසින් – සසල නොවනා කෙනෙක් නොව ඔබ

එබස් තෙපලූ ලෙසම දෙනු මැන  –        අහිමි විජිතයෙන් යන්න අවසර

වියෝ තැවුලෙන් නැගෙන දෙනෙතට – කඳුල සැප යයි සිතේ මා හට

ඔබ එතැයි මග නෙත් යොමා සිට – අපමණයි දුක දවන හදවත

නැති නමුදු සැනසෙන්න අද දින – ඇමතුවා ඔබ නිරතුරු පෙර දින

එයම ළකුණකි දුන්න අවසර – ඔබේ හදවතින් යන්න ඉවතට

හිරුට වැරදී නැගෙයි අවරින් – සඳුට වැරදී නැගෙයි උදයෙන්

එහෙත් අප පෙම බිඳී නොම යෙයි – හිරුද සඳුද අද මටම සිනාසෙයි

නොමදී කරදර තව තව ඔබ හට – සිතුවා ඔබගෙන් සමුගෙන යන්නට

ඔබ පෙම අචලව මෙතෙක් තුරාවට – පිදු බව දන්නෙමි ඒකයි දුක මට

අසන අසන පැනයට ඔබ ගොළු වී -සිටිනා අයුරට විලසින් ලතැ වී

දැනුනා මා හට ඇති යුරු නිම වී – අප දෙදෙනා සිටි කාලය ලංවී

 

සිප්පි බෙල්ලෙකු නොකී කව

සිප්පි බෙල්ලෙකු නොකී කව

සිප්පි බෙල්ලෙකු නොකී කව

සදාකාලික වියෝ තැවුලෙන්

සයුරු කුමරිය ගැයූ ගීතය

හදේ ගාඹුරු ම තැනට ලංවී

මකාලයි මගේ තනිය නොතනිය

ආව දුර මග ඇයත් සමගින්

වෙරළ දුටු දා දුකින් නිම විය

කියන්නෙමි මා හැමට ලංවී

හදේ ගැයෙනා ඇගේ ගීතය