ඩෙංගු, සූකර උණ, තණකොළ සහ WHO සභාපති
Posted in රටේ වෙන දේවල් මගේ ඇසින් on 05/05/2009 05:11 am by randilමේ දවස් වල අපේ රටේ හරියට ප්‍රශ්න.
උතුරු නැගෙනහිර යුද්ධයට හිරවී සිටින අපේ හමුදාව,
අහිංසක අසරණ දමිළ සිවිල් ජනතාව,
ඔවුන්ට ආධාර එකතු කරන්න දහ අතේ ණය වෙන, මහන්සි වෙන ආණ්ඩුව,
තමන්ගේ පටි තද කර ගෙන, අහිංසක අසරණ දමිළ සිවිල් ජනතාවට ආධාර එක් රැස් කරන, පඩි පතට තඩි බද්දක් එකතු කරන තුරු ඇගිලි ගැනපු, ඊටත් වඩා අන්ත අසරණ සිංහල ජනතාව,
ඒ අතර තුර තණකොළ බුදින සහ වෙන වෙන දේ බුදින බස්නාහිර පළාතේ ජනතාව,
එකී නොකී සියලු දෙනාටම විවිධාකාර ප්‍රශ්න……………….
පසුගිය සති අන්තයේ නිවසේ රැදී සිටි බැවින් පැයෙන් පැයට කසාය වඩිය වාගේ ප්‍රචාරය වන ප්‍රවෘති විකාශනයන් අඩුවක් නැතිව බලා ගත හැකි විය. හැම පැයකදි ම වාගේ ඒවායින් විකාශය වූයේ මේ දින වල ලෝකයට ම උග්‍ර සෞඛ්‍ය ගැටළුවක් ව පවතින සූකර උණ රෝගය පිළිබදවයි. ඉන්දුනීසියාව ජපානය වාගේ රටවල ගුවන්තොටුපළ වල ගෙන ඇති විධිමත් ක්‍රියා මාර්ග දකින විට අපේ රට පිළිබද විළි ලැජ්ජාවෙන් බර වුන සියුම් සංතෝෂයක් ඇති වුනේ යැයි පැවසුවොත් නිවැරදිය. එම රටවල ගුවන්තොටුපළ සේවකයින් හදුනා ගැනීමටවත් නොහැකි වන පරිද්දෙන්, සකල සර්වාංගයම වසාගෙන, පැමිණෙන සියලු මගීන් දැඩි පරීක්ෂාවකට බදුන් කරන ආකාරය පැයෙන් පැයට පෙන්වද්දී, දැන් දැන් අපේ රටේ ගුවන්තොටුපළ ද මේ ආකාරයෙන් පෙන්වනු ඇතැයි යන දවල් සිහිනයක ගැලී රුපවාහිනිය දෙස නෙත් යොමා ගෙන සිටියෙමු.
කොහේ පෙන්නන්නද?
ඊයේ ලංකාදීප පත්තරේ මුල් පිටුවේම දක්වා තිබුනේ උණ රෝග පරික්ෂාව සදහා ගුවන්තොටේ ඇති යන්ත්‍ර 4 ම ක්‍රියා විරහිතව පවතින බවයි. බොහොම හොදයි නේද? WHO සභාපතිගේ රටේ සෞඛ්‍ය පිළිබද තත්ත්වය. ඒ අතර අපේ ගරු සෞඛ්‍ය ඇමතිතුමා, WHO සභාපතිට, වෙනත් උග්‍ර සෞඛ්‍ය ගැටළුවක් මතුවී තිබෙනවා. ඒ ඩෙංගු ද නොවේ. සූකර උණ ද නොවේ. බස්නාහිර පළාතේ ජනතාව බුදින ආහාර තමයි මේ දින වල එතුමාට ඇති වී තිබෙන උග්‍ර සෞඛ්‍ය ගැටළුව.
ලෝකයේ බෝවන රෝග පිළිබද ව එතුමාට තිබෙන්නේ ඉතාමත් අගනා දැක්මක්. පසුගිය මාසයේ දිනයක ඩෙංගු රෝගය පිළිබද ව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවතිණි. විරුද්ධ පාක්ෂිකයෙක්, “මේ උවදුර පිළිබද මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ, දැනටමත් මුඩුක්කු ආශ්‍රිතව මෙච්චර මෙච්චර ප්‍රමාණයක් රෝගයෙන් පෙළෙනවා”, (බිංදු 2 හෝ 3 ගණනක්) යැයි කරුණු ගෙන හැර පෑවේය. ඒ අවස්ථාවේ දී එතුමා ඉතාමත් අගනා ලෙස අංක ගණිතයෙන් කරුණු ගෙන හැර පෑවේය.
“අපේ අසල්වැසි ඉංදියාවේ පමණක් රෝගීන් ………….ක් (බිංදු 4 හෝ 5 ගණනක්) ඉන්නවා. එයින් මෙච්චරක් මිය යනවා” යැයි සෞඛ්‍ය ඇමතිතුමා පැවසූ සැනින්, පෙර ප්‍රශ්නය මතු කල තැනැත්තා ගත් කටටම, “ආ එහෙනම් කමක් නැහැ” යි පැවසුවේ සභාවම සිනා සයුරේ ගිල්වමිනි. තව දුරටත් කතාව පැවැත්වූ සෞඛ්‍ය ඇමතිතුමා පැවසුවේ මෙම රෝගය මර්දනය කරන්නට රජයට පමණක් නොහැකි බවය. (ඒ කතාව නම් සැබෑවකි). ගෙවල් වල අලංකාරයට තබා ඇති මල් බදුන් තුල, මේස කකුල් වලට තබා ඇති කූඹි උගුල් තුල, බෝවන ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමට රජයට නොහැකි බව තවදුරටත් එතුමා පැවසීය. (අනේ මෙහෙමත් කතාවක්). ප්‍රශ්නය මතු කල තැනැත්තා ඇසුවේ මුඩුක්කු ආශ්‍රිතව ඇති වී තිබෙන තත්ත්වයයි. අනේ ඒ මිනිස්සුන්ගෙන් බොහොමයක් දෙනාට අලංකාරයට මල් බදුන් තබන්නවත්, කූඹි උගුල් අටවන්නවත්, මේසයක් තබා බංකුවක් වත් තිබේ දැයි සැක සහිතය. ඔන්න ඔහොමයි WHO සභාපතිගේ කතාව. WHO සිංහල දන්නවා නම් එහෙම……….?
කොහොම හරි අන්තිමට සූකර උණ අපේ රටට ආවාට පස්සේ (දැනටමත් ඇවිත් ඇති මේ යන විදියට නම්) කියාවි රජයට මේ තත්ත්වය තනිව පාලනය කර ගන්න බැහැ, මිනිස්සු මීට වඩා සූකරයින් ගැන කල්පනාකාරී විය යුතුයි කියලා. උතුරට ආධාර අරං හැල්මේ යන අපේ මිනිස්සුන්ටවත් පේන්නේ නැහැ මෙහි ඇති බරපතල බව. සේරටම කලින් කල යුතුව තිබෙන්නේ මේ සූකර උණ ප්‍රශ්නයට විසදුම් සෙවීම බවයි මගේ අදහස. කැස්ස කැහැ ගන්න බැරි උනාමත් ලිෆ්ටන් වටරවුමට දුවන අපේ අයියලා දැන් සද්දයක් වත් නැහැ.
ගුවන්තොටේ යන්ත්‍ර ටික අලුත්වැඩියා කරනු !
සූකර උණ අප රටට ඒම වළකනු !
කියමින් ආණ්ඩුවට බලපෑමක් ඇති කරන්නට තණකොළ බුදින අයියලාටත්, වෙන වෙන දේ බුදින අයියලාටත්අමතකව ඇත්තේ ලගදීම ඌව ටත් දකුණ ටත් නෑ ගම් යාමට ඇති නිසා විය යුතුය. කෙසේ හෝ අපට පැවසීමට ඇත්තේ මෙපමණකි.
ශ්‍රී ලාංකිකයෙනි ! සීරුවෙන් සිටිමු(නු).
සූකර උණ මාරාන්තිකයි.
