Archive for May, 2009

ඩෙංගු, සූකර උණ, තණකොළ සහ WHO සභාපති

මේ දවස් වල අපේ රටේ හරියට ප්‍රශ්න.

උතුරු නැගෙනහිර යුද්ධයට හිරවී සිටින අපේ හමුදාව,

අහිංසක අසරණ දමිළ සිවිල් ජනතාව,

ඔවුන්ට ආධාර එකතු කරන්න දහ අතේ ණය වෙන, මහන්සි වෙන ආණ්ඩුව,

තමන්ගේ පටි තද කර ගෙන, අහිංසක අසරණ දමිළ සිවිල් ජනතාවට ආධාර එක් රැස් කරන, පඩි පතට තඩි බද්දක් එකතු කරන තුරු ඇගිලි ගැනපු, ඊටත් වඩා අන්ත අසරණ සිංහල ජනතාව,

ඒ අතර තුර තණකොළ බුදින සහ වෙන වෙන දේ බුදින බස්නාහිර පළාතේ ජනතාව,

එකී නොකී සියලු දෙනාටම විවිධාකාර ප්‍රශ්න……………….

පසුගිය සති අන්තයේ නිවසේ රැදී සිටි බැවින් පැයෙන් පැයට කසාය වඩිය වාගේ ප්‍රචාරය වන ප්‍රවෘති විකාශනයන් අඩුවක් නැතිව බලා ගත හැකි විය. හැම පැයකදි ම වාගේ ඒවායින් විකාශය වූයේ මේ දින වල ලෝකයට ම උග්‍ර සෞඛ්‍ය ගැටළුවක් ව පවතින සූකර උණ රෝගය පිළිබදවයි. ඉන්දුනීසියාව ජපානය වාගේ රටවල ගුවන්තොටුපළ වල ගෙන ඇති විධිමත් ක්‍රියා මාර්ග දකින විට අපේ රට පිළිබද විළි ලැජ්ජාවෙන් බර වුන සියුම් සංතෝෂයක් ඇති වුනේ යැයි පැවසුවොත් නිවැරදිය. එම රටවල ගුවන්තොටුපළ සේවකයින් හදුනා ගැනීමටවත් නොහැකි වන පරිද්දෙන්, සකල සර්වාංගයම වසාගෙන, පැමිණෙන සියලු මගීන් දැඩි පරීක්ෂාවකට බදුන් කරන ආකාරය පැයෙන් පැයට පෙන්වද්දී, දැන් දැන් අපේ රටේ ගුවන්තොටුපළ ද මේ ආකාරයෙන් පෙන්වනු ඇතැයි  යන දවල් සිහිනයක ගැලී රුපවාහිනිය දෙස නෙත් යොමා ගෙන සිටියෙමු.

කොහේ පෙන්නන්නද?

ඊයේ ලංකාදීප පත්තරේ මුල් පිටුවේම දක්වා තිබුනේ උණ රෝග පරික්ෂාව සදහා ගුවන්තොටේ ඇති යන්ත්‍ර 4 ම ක්‍රියා විරහිතව පවතින බවයි. බොහොම හොදයි නේද? WHO සභාපතිගේ රටේ‍ සෞඛ්‍ය පිළිබද තත්ත්වය. ඒ අතර අපේ ගරු සෞඛ්‍ය ඇමතිතුමා, WHO සභාපතිට, වෙනත් උග්‍ර සෞඛ්‍ය ගැටළුවක් මතුවී තිබෙනවා. ඒ ඩෙංගු ද නොවේ. සූකර උණ ද නොවේ. බස්නාහිර පළාතේ ජනතාව බුදින ආහාර තමයි මේ දින වල එතුමාට ඇති වී තිබෙන උග්‍ර සෞඛ්‍ය ගැටළුව.

ලෝකයේ බෝවන රෝග පිළිබද ව එතුමාට තිබෙන්නේ ඉතාමත් අගනා දැක්මක්. පසුගිය මාසයේ දිනයක ඩෙංගු රෝගය පිළිබද ව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවතිණි. විරුද්ධ පාක්ෂිකයෙක්, “මේ උවදුර පිළිබද මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ, දැනටමත් මුඩුක්කු ආශ්‍රිතව මෙච්චර මෙච්චර ප්‍රමාණයක් රෝගයෙන් පෙළෙනවා”, (බිංදු 2 හෝ 3 ගණනක්) යැයි කරුණු ගෙන හැර පෑවේය. ඒ අවස්ථාවේ දී එතුමා ඉතාමත් අගනා ලෙස අංක ගණිතයෙන් කරුණු ගෙන හැර පෑවේය.

“අපේ අසල්වැසි ඉංදියාවේ පමණක් රෝගීන් ………….ක් (බිංදු 4 හෝ 5 ගණනක්) ඉන්නවා. එයින් මෙච්චරක් මිය යනවා” යැයි සෞඛ්‍ය ඇමතිතුමා පැවසූ සැනින්, පෙර ප්‍රශ්නය මතු කල තැනැත්තා ගත් කටටම, “ආ එහෙනම් කමක් නැහැ” යි පැවසුවේ සභාවම සිනා සයුරේ ගිල්වමිනි. තව දුරටත් කතාව පැවැත්වූ සෞඛ්‍ය ඇමතිතුමා පැවසුවේ මෙම රෝගය මර්දනය කරන්නට රජයට පමණක් නොහැකි බවය. (ඒ කතාව නම් සැබෑවකි). ‍ගෙවල් වල අලංකාරයට තබා ඇති මල් බදුන් තුල, මේස කකුල් වලට තබා ඇති කූඹි උගුල් තුල, ‍බෝවන ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමට රජයට නොහැකි බව තවදුරටත් එතුමා පැවසීය. (අනේ මෙහෙමත් කතාවක්). ප්‍රශ්නය මතු කල තැනැත්තා ඇසුවේ මුඩුක්කු ආශ්‍රිතව ඇති වී තිබෙන තත්ත්වයයි. අනේ ඒ මිනිස්සුන්ගෙන් බොහොමයක් දෙනාට අලංකාරයට මල් බදුන් තබන්නවත්, කූඹි උගුල් අටවන්නවත්, මේසයක් තබා බංකුවක් වත් තිබේ දැයි සැක සහිතය. ඔන්න ‍ඔහොමයි WHO සභාපතිගේ කතාව. WHO සිංහල දන්නවා නම් එහෙම……….?

කොහොම හරි අන්තිමට සූකර උණ අපේ රටට ආවාට පස්සේ (දැනටමත් ඇවිත් ඇති මේ යන විදියට නම්) කියාවි රජයට මේ තත්ත්වය තනිව පාලනය කර ගන්න බැහැ, මිනිස්සු මීට වඩා සූකරයින් ගැන කල්පනාකාරී විය යුතුයි කියලා. උතුරට ආධාර අරං හැල්මේ යන අපේ මිනිස්සුන්ටවත් පේන්නේ නැහැ මෙහි ඇති බරපතල බව. සේරටම කලින් කල යුතුව තිබෙන්නේ මේ සූකර උණ ප්‍රශ්නයට විසදුම් සෙවීම බවයි මගේ අදහස. කැස්ස කැහැ ගන්න බැරි උනාමත් ලිෆ්ටන් වටරවුමට දුවන අපේ අයියලා දැන් සද්දයක් වත් නැහැ.

ගුවන්තොටේ යන්ත්‍ර ‍ටික අලුත්වැඩියා කරනු !

සූකර උණ අප රටට ඒම වළකනු !

කියමින් ආණ්ඩුවට බලපෑමක් ඇති කරන්නට තණකොළ බුදින අයියලාටත්, වෙන වෙන දේ බුදින අයියලාටත්අමතකව ඇත්තේ ලගදීම ඌව ටත් දකුණ ටත් නෑ ගම් යාමට ඇති නිසා විය යුතුය. කෙසේ හෝ අපට පැවසීමට ඇත්තේ මෙපමණකි.

ශ්‍රී ලාංකිකයෙනි ! සීරුවෙන් සිටිමු(නු).

සූකර උණ මාරාන්තිකයි.

 

‘චූටි’ අපේ පුංචි ගිරා පැටියා (අනතුරක් සිදුවිය. හැකි කෙනෙක් බෙහෙතක් කියන්න).

මේ ටික දවසක හිට ලියන්න හිතාගෙන හිටපු එකක්. මලී ගේ පෝස්ට් එක http://abnormalminds.blogspot.com/2009/05/blog-post.html දැක්කට පස්සේ ලියන්නම ඕනේ කියලා හිතුනා. මලීට කියන්න තියෙන්නේ දෙන්න එයාට, අඹ, ගස් ලබු වගේ පළතුරු ටික දවසකින් බත්, බත් එක්ක පරිප්පු, වතුර ටිකක් දාලා‍ පොගවලා ඉදි ආප්ප වගේ දේවල්.

මාර්තු මාසේ අන්තිම බදාදා අපේ අයියාගේ යාළුවෙක් කතා කරලා කිව්වා ගහකින් වැටුනු ගිරා පැටියෙක් ඉන්නවා ඉක්මනට එන්න කියලා. අයියටත් ඉතින් සත්තු කිව්වොත් වෙන දෙයක් නැහැනේ. එයා ඒ ගමන්ම ගිහින් අරන් ආවා. අපොයි ගදේ ඉන්න බැරි උනා. කූඩුවෙන් වැටුනු ගමන් නිසා ඒ වෙන කොටත් ඇග පුරාම අනිත් අයියලා මල්ලිලා නංගිලා අක්කලාගේ ජරාව‍. බිමින් තිබ්බ ගමන් බඩ ගාගෙන ඇදිලා මුල්ලකට හරි අපි ගාවට හරි හරිම බයකින් ඇදිලා ආව එක තමයි මෙයා කලේ. ඒ වෙනකොට රෑ 7 ට විතර ඇති. අයියා ත්‍රී පෝෂ ටිකක් හදලා එයාට කැව්වා. මට මතක විදියට එයා ටිකකින්ම ඒකට  පුරැදු වුණා. පස්සේ සපත්තු ගෙනාපු පෙට්ටියක් තිබිලා ඒකට රෙද්දක් දාලා එයාව ඒකෙන් තිබ්බා. පහු වෙනිදා අම්මාට බාර දීලා අපි වැඩට ආවා. හවස යන ගමක් අයියා කූඩුවක් අරං ගියා. අනේ අපේ පුංචි ගිරවා හරියට එයාට ගෙයක් ලැබුනා වගේ කූඩුවට ගිහින් දනි පනි ගාලා දැල දිගේ ඇවිදින්න උනා. මුලදි මුලදි අමාරුවෙන් තමයි එයා ගියේ. පස්සේ හුරු උනා. අයියා හරහට ලී කෑල්ලක් දැම්මම එයාම උත්සහ කරලා කරලා ඒකට නැග ගත්තා. හරිම පණ්ඩිතයෙක් තමයි. හැබැයි අපි එයාව දවස් දෙකක් වගේ තමයි එහෙම කූඩුවේ තිබ්බේ රෑට. අයියා ඉස්සර හදපු රුක් කලාවක් තියෙනවා. ඊට පස්සේ අපි රෑට අපේ චූටිව එකෙන් තියන්න පටන් ගත්තා. ඉතින් ඊට පසසේ එයා රෑට එකේ ඉන්නවා දවල්ට කූඩුවේ ඉන්නවා. අවුරුදු නිවාඩුවට දවසම එයා කූඩුවෙන් එලියේ තමයි හිටියේ. ආ කියන්න බැරි උනානේ. එයා ඇවිත් සති එකහමාරෙන් ඔන්න එයාගේ තව සහෝදරයෙක්ව අයියාගේ යාළුවා ගෙනත් දීලා අපි ගෙදර යද්දී. ඉතින් මොකද කරන්නේ? දෙන්නා එකට තියලා බැලුවා. අපේ පුංචි හදයා දුන්නේ නැද්ද තමන්ගේ සහෝදරයාට හොද පාරක්. ඉතින් මොකද කරන්නේ අලුත් එක්කෙනා කූඩුවෙම තියන්න තීරණය කලා. එයා ලොකු උනාම අපි නිදහස් කරන්නයි ඉන්නේ. චූටිට නම් යන්න බෑ කියලා තමයි කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි පුදුම වැඩේ උනේ. වෙනදා නැති ගිරව් එන්න ගත්තා අපේ ගෙවල් පැත්තේ. ඔය අතරින් එක ලොකු ලස්සන මාල ගිරවෙක් ඇවිත් කූඩුවෙ ඉන්න පැටියාට කවනවා. චූටිත් ඒ ගිරවාගේ හඩට ප්‍රතිචාර පෙන්වනවා. කාමරේ ජනේලේ ගාවට ඇවිත් චූටි දිහා බලන්නත් ගිරා ලොක්කා අමතක කෙරුවේ නැහැ. අපේ ගෙදර ඉන්නවා කොකටියල් ගිරවෙකුත්. පස්සේ අපි කූඩුවේ ඉන්න පැටියාව කොකටියල් ගිරවාත් එක්ක එක කූඩුවට දැම්මා තනියෙන් ඉන්න නිසා. මාල ගිරවා තාමත් ඇවිත් එයාට කවනවා. හරි ආසයි බලන් ඉන්න.

මේ අතරේ අපේ චූටි ගොඩක් හුරතලේට හැදෙනවා. මාත් එක්ක ගොඩාක් යාළුයි. කතා කලාම ඇයි කියලා අහනවා වගේ ශබ්දයක් පිට කරනවා. අර ලීයෙන් තියලා ගියහම අපි අයේ එනකම් තිබ්බ තැනටම වෙලා තටු පිහිද පිහදා ඉන්නවා. හැබැයි අපි ආවට පස්සේ ලීයෙන් බැහැලා ඇවිදිනවා. ඇදට පියාඹලා එනවා. අයියගෙයි මගෙයි පිගානෙන් තමයි එයාට කන්න ඕනේ. කවනවාට කැමැත්තක් නැහැ වැඩිය. උරහිසට නැගලා කරාබු හපන්න මාල හපන්න තමයි වැඩියේ කැමති. කොහොම හරි ගිය සෙනසුරාදා ඕනෙම නැති වැඩක් උනා. මම චූටිව නෑව්වා. අම්මාට දීලා මම නාලා ගෙට එන ගමන් ඇහුවා කෝ චූටි කියලා. අම්මා කිව්වා කාමරේ ඉන්නවා කියලා. එතකොටම අමුතු කෑ ගැහිල්ලකුත් ඇහුනා. අපි සේරම දුවගෙන ගියා කාමරේට. අපේ ටීනා නැමති බැල්ල ‍ඒ වෙනකම්ම චූටි නැමති අමුත්තා දෙස වපරැසෙන් බලාගෙන හිටියේ. අල්ලගන්නම්කෝ කියලා වගේ. චූටිව හපලා නැහැ. ඒත් මොකක් හරි වැරැද්දක් වෙලා ඒ ටිකට. අනේ මගේ චූටියාට දැන් එක කකුලක ප්‍රශ්නයක්. ඒක නිසා කෙලින් හිට ගන්න බැහැ. බඩ  බිම තියා ගෙන තමයි ඉන්නේ. අපි බෙහෙතුත් ගත්තා. විටමින් වගයක් දුන්නා.

ඊයේ හවස අයියා කිව්වා අපි චූටිව කූඩුවට දාලා එලියෙන් තියලා බලමු කියලා. හිතුවා වගේම මාල ගිරවා ආවා චූටිව බලන්න. අද උදේ එයා ඇවිත් චූටිටත් කැව්වා. මට හිතෙන්නේ ම මේ නම් බෝසත් ගිරවෙක් කියලයි. මට මේ සිද්ධීන් දකිද්දි අපේ යාළුවෝ ටික තමයි මතක් වෙන්නේ. මොනවා කරන්නද? කැමරාව කැඩිලා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න චූටිට කරන්න පුළුවන් බෙහෙතක්. බොහොම පිං එහෙම කියන්න පුළුවන් නම්.

 

රැවටිල්ල, රැවටිල්ල, මෙහෙමත් රැවටිල්ලක් සහ රැවටීමක්

මෙන්න මේ කතාව, මගේ එක යාළුවෙක් කිව්ව කතාවක්. එයාගේ කන්තෝරුවේ වැඩි දෙනෙක්ම කොළඹ බෝඩිම් වල නැවතී රැකියාවට එන අය. ඉතින් කෑම හැමදාම වගේ කඩෙන්. දවසක් කන්තෝරුවට ඇවිල්ලා, දහවල් ආහාරය සදහා කෑම පැකට් විකුණන මනුස්සයෙක්. ඒ මනුස්සයාගේ විශේෂත්වය තමයි, අපි කවුරුත් දන්න ලන්ච් ෂීට් නමින් හදුන්වන ‍දේ වෙනුවට නෙළුම් කොලේ ආහාර ඔතා තිබීම. ඉතින් එදා, නුවර පලාතෙන් පැමිණ කොළඹ නැවතී මගේ මිතුරාගේ කන්තෝරුවට සේවය පිණිස පැමිණෙන එක මහත්මයෙක් මේ ආහාර පාර්සලයක මිල ගණන් ආදිය විමසුවේලු. මිල රු.75.00යි. හැබැයි වැඩි දෙයක් නැහැ, කරවල තෙල්දාලා, පරිප්පුයි, පොල් සම්බල් තෙම්පරාදුවයි, මැල්ලුමයි කිව්වලු අර මනුස්සයා. ‍(කොහොමද කටට කෙල ආවා නේද?)  හා, ඒ බොහොම හොදයි කියා එක් පාර්සලයක් මිලදී ගත් අර මහත්මයා, අනෙක් අයත් එක්ක දිවා ආහාරය සදහා වාඩි උනාලු.

අනේ අපොයි ! මොන නෙළුම් කොළද? කොට්ටං කොලේක බොහොම ලස්සනට ඔතලා තිබුනලු බත් ටික. ඇට දහයක පමණ පරිප්පු ස්වල්පයක්, පොල් සම්බල් (තෙම්පරාදුව නොවෙයි) ද, කරවල තෙල්දාලා (වගේ දෙයක්) සමග තිබුනලු බත් ටික. නරකම වැඩේ කියන්නේ කරවල තෙල්දාලා වගේ තිබුන දෙයත් කරවල නොවෙයිලු. කොහිල අල කරවල වගේ පේන්න කපලා, මිරිස් වැඩිපුර දාලා තෙල් දාලා.මේ එක වංචාවක් විතරක් නෙමෙයි නේද? කෙනෙක් කන බත් පතට මෙවන් රැවටිල්ලක් කරන්න තරම් මේ මිනිස්සු වැටිලා ඉන්න තත්ත්වය ගැන මොනවා හිතන්නද කියලා හිතා ගන්නත් බැහැ නේද? ඊට පස්සේ දවසකත් මේ මනුස්සයා මගදී මුණ ගැහිලා ඒ කන්තෝරැවේ කිහිප දෙනෙකුට. විරැද්ධව ක්‍රියා කරන්නත් සාක්ෂි අවශ්‍ය නිසා මේ අය බත් පැකට් එකක් ඇරලා පෙන්නන්න කියලා. අනේ මෙන්න ඒ පාර ‍හොදට නෙළුම් කොළේ ඔතපු, පෙරකී ආකාරයේ දේ වලින් සමන්විත, කෑම පාර්සලයක් පෙන්නුවලු. අනිත් ඒවා දිග හරින්න කිව්වා නම් වැඩේ අල්ලා ගන්න තිබුනා වුනත් වැරදිලාවත් ඒවා හොද ඒවා නම් මිලදී ගන්න සිදුවන නිසා ඔවුන් නිහඩව දිග හැරපු පාර්සලය විතරක් අර මනුස්සයාට කියලා ඔතා ගෙන පැමිණ තිබෙනවා. දන්නවාද? ඇවිත් දිග හැරියම ආපහු කොට්ටං කොලේ ඔතපු බත් එකක්ලු. අර මනුස්සයාට ඒ ගත්ත සල්ලි වලින් කන කෑමක් දිරවයිද? මෙහෙම රැවටීම් හැමදා කරන්න පුළුවන්ද?  මේ සිද්ධිය ඇහුවම ඒ ගැන හිතලා බැලුවම මට නම් හිතුනේ සමාජය කෙරෙහි කෝන්තරයක් තිබෙන මනුස්සයෙක් කරන වැඩක් කියලයි. නැත්නම් ඔහොම රවටනවාට වඩා හොද නැද්ද සමාන්‍ය ආකාරයට සකස් කරපු බත් පැකට් අලෙවි කලා නම්? (අනෙක් අතට අපේ මිනිස්සුත් දැන ගන්න ඕනේ එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න).