“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 09 කොටස
Posted in ජීවිතය මේ වගෙයි on 06/22/2009 07:36 am by randil
හිතට නිවනක්, හිසට සෙවනක්,……………………………………………
කෙනෙකුගේ අනාගතය ශක්තිමත් වන්නට නම් වර්තමානයේ දී ශක්තිමත් අඩිතාලමක් ගොඩ නැංවිය යුතුය. අඩිතාලම බොල් නම් ඒ මත ගොඩ නැගෙන අනාගතය වැල්ලේ තැනූ වැලි මාලිගාවක් වනවා නිසැකය. අප නිරතුරුව ම කල්පනාකාරී විය යුත්තේ එම අඩිතාලම සඳහා අප විසින් භාවිතා කරන්නට යන අමුද්‍රව්‍යන් පිළිබඳවය. අධ්‍යාපනය එක් තිරණත්මක සාධකයකි. අධ්‍යාපන තත්ත්වය මත තීරණය වන රැකියා තත්ත්වය ද අනාගතය ගොඩනැංවීමේ දී වැදගත් වන අමු ද්‍රව්‍යයකි.
පෙර මා පැවසූ පරිදි, පාසල් අධ්‍යාපනයෙන් පසුව අප දෙදෙනා යොමු වූයේ වෘත්තිය පුහුණුව හරහා යොමුවුනු අධ්‍යාපනය දෙසටය. ඒ මාවත ඔස්සේ වසර පහක් හයක් පමණ අපි ගමන් කළෙමු. අධ්‍යාපන තත්ත්වයේ නැග්මත් සමඟ අපගේ රැකියාවන් වඩා දියුණු අඩියකට පත් විය. එයට අමතරව අමතර ආදායම් මාර්ගයක් ද අප ඉදිරියේ විවෘත විය. නිවාස සැළසුම් නිමවීමත්, ඒවාට අදාළ ඇස්තමේන්තු සැකසීමත්, අප හට විවෘත වුනු අමතර ආදායම් මාර්ගයයි. දෙපස සිටින දෙදෙනෙකුට එවන් කාර්යයක් කාර්යක්ශමව කිරීමට අපහසු වුවද එම තත්ත්වයටද මුහුණ දෙමින් අපගේ කාර්යය කරගෙන යාමට අපට හැකිවිය.
ඒ අතරතුර අපගේ ම නිවසක් පිළිබඳ බලාපොරොත්තුවක් ද අප සිත්තුල කෙමෙන් කෙමෙන් පහළවිය. ‘මොන මොන බාධක පැමිණියත්, යම් දිනෙක අප දෙදෙන විවාහයකින් බැඳෙන්නේ අප දෙදෙනාටම නම්, අපගේම නිවසක් පිළිබඳ සිතන්නට අප හට බාධාවක් නොවේ’ යැයි අපි සිතුවෙමු. අනෙක් අතට අපගේම කියා නිවසක් ඇත්නම්, දෙමවිපිය ආශිර්වාදය ගැනීමට එයද උපකාරී වනු ඇතැයි මට සිතිණ. මෙහි දී කිව යුත්තක් ඇත. එනම් මෙම තීරණය අපට සාධාරණ වුවද ලොව සිටින සියලු පෙම්වත් යුවල හට සාධාරණ වේයැයි මම නොකියමි. ඉතාමත් තදබල විශ්වාසයක් මත මිසෙක මෙවන් තීරණයක් නොගත යුතු බව තරයේ පවසමි. එයට හේතුව වියදම් වන මුදල් හා ශ්‍රමය මත ගොඩ නැගෙන නිවෙස පිළිබඳ මිසෙක, යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් එම අලාභානිය ලබා ගන්නේ කෙසේ දැයි සිතමින් මෙවන් කාර්යයකට අත ගැසීම නොකල යුතු බැවිනි. ගෙදරින් ද තදබල ලෙස ප්‍රශ්න ඇතිව තිබූ මොහොතක මා ගන්නා ලද ඒකමතික තීරණය ගැන අද මා දෙමව්පියෝද සතුටු වෙති. එනමුදු යම් කෙනෙකු ගත් එවන් තීරණයක් වැරදී ගියේ නම්,…………………………. උපයා ගත් සියලුම ධනය අහිමිව, රැවටිල්ලට ලක්වීම නිසා උපදින ආත්මානුකම්පාවෙන් වෙලී, ජීවිතයම අඳුරු ආගාධයකට ගිලී යාම නොවැලැක්විය හැකිය. එබැවින් ඔබත් එවන් තීරණාත්මක තීන්දුවකට ඒමට සිටී නම් බොහෝ වාරයක් සිතා බැලිය යුතු බව අවධාරණය කරමි.
2003 වසරේ දී මාගේ උපන් දිනය යෙදී තිබූ දිනයේදී ඔහුගේ මව ( ඈ මාගේ උපන් දිනය පිළිබඳ ව තබා මා පිළිබඳව වත් දැන සිටියේ නැත.) ඔහුට පර්චස් දහයක පමණ ඉඩමක් මිල දී ගෙන දී තිබුණි. මුලදී අප සිතුවේ එහි නිවස සාදන්නටය. එහෙත් ඔප්පුව හරි හැටි නොබැලීම නිසාවෙන්, එය මඩ ඉඩමක් ලෙස වරදවා වටහා ගැනීමෙන්, අපහට එහි නිවසක් තැනීමට බාධා ඇතිවිය. කෙසේ හෝ අවසානයේ තීන්දු වූයේ ඔහුගේ මහ ගෙදර ඉඩමේ නිවස සාදන්නටය.
අනතුරුව එළඹියේ නිවාස සැළසුම සකස් කිරීමේ කාර්යයයි. වෙනත් අයගේ නිවාස සැළසුම් වඩා ඉක්මනින් ලබා දීමට අපට හැකි වුවත් අපගේ නිවසේ සැළසුම නම් එසේ විගස නිමවා ගැනීමට අපට නොහැකි වූයේ ඒ පිළිබඳ අප ඕනෑ ප්‍රමාණයටත් වඩා කල්පනාකාරී වු නිසාවෙන් යැයි සිතමි. කෙසේ හෝ මාසයකට ආසන්න කාලයක් විවිධ වෙනස් කම් කරමින්, අලුත් දේ එක් කරමින්, සමහර දේ ඉවත් කරමින්, සැළසුම සමඟ ඔට්ටු වු අපි අවසානයේ අපගේ පුංචි මාලිගාව ගොඩ නැංවීමට නැකත් සෑදූවෙමු. 2007 වසරේ ජූනි 01 වන දා වැඩ ආරම්භ කිරීමට නැකත් ලැබුණු අතර ඒ වන විට මැයි මස අන්තිම සතිය උදා වි තිබිණ. අප දෙදෙනා සතුව තිබූ මුදල්ද ණය මුදල් මගින් සම්පාදනය කරගත් මුදල් ප්‍රමාණයක් ද මූලික වැඩ කටයුතු කර ගැනීමට අපට උපකාරී විය. ඔහුගේ නිවසින් ද අප හට ලැබුනේ නොමද සහයකි. ඔහුගේ අම්මා අප හට මුදලින් උපකාර වූවාය. අපගේ සේවාස්ථාන වෙතින්ද අප හට උපකාර ලැබිණ.
සමහර අවස්ථාවන් වලදී මාගේ සේවාස්ථානයේ මිතුරන් මා හට විහිළු කලේ, ‘කොල්ලා ගේත් හදාගෙන වෙන මනමාලියෙක් ගෙනෙයිද දන්නේ නැහැ නංගියේ’ කියමිනි. මම එවිට, “අනේ හොඳයි කාට හරි ඉන්න පැලක් හදලා දුන්නා කියලා සතුටු වෙනවා” කියමින් සිනාසෙමි. ඔව්, ඇත්තෙන් ම ඔවුනට එහෙම ඇත්තටම සිතුනා වුවද විය හැක. සමහර මිතුරු වෙසින් සිටියද එසේ නොවන්නෝ එහෙම වෙනතුරු බලා සිටියාද විය හැක. එය ලෝක ස්වභාවයයි. කෙනෙකු අනතුරක වැටෙනතුරු බලා සිට සිනහාසීමට සිටින්නෝ බොහෝය. අප දැන ගත යුත්තේ අනතුරේ නොවැටී සිටින ආකාරයයි. අප අපගේ අනාගතය ගොඩ නගා ගන්නා අතරම ඒ අතරමග ඇති අනතුරු හඳුනාගෙන, ඒවායේ නොවැටී සිටීමටද වගබලා ගත යුතුය. ජීවිතය දිනාගන්නට අවදානම් දරා ගත යුතුබව සැබෑවකි. එනමුදු මුහුණ දෙන අවදාමනේ දිනුම අප වෙත නොවන බව දැනේ නම් වහා එයින් අත්මිදිය යුතුය. එය හදවතට දරා ගත නොහැකි වනු ඇත. එහෙත් එවන් අවස්ථාවන් වලදී බුද්ධියට ඉඩදී, හදවතට නිහඬව ඉන්නට අවධාරණය කල යුතුය. ඉහත ලිපි පෙළින් කියැවුනු, මා ගත් තීරණ හමුවේ මා වෙත කිසිම සැකයක් නොවූ නිසාවෙන් එම තීරණ ගැනීමට මම නොපසුබට වූයෙමි. එනමුදු සුළු හෝ සැකයක් මා වෙත වූයේ නම්, අපගේ සම්බන්ධය යන මාර්ගය දෙස බලා සිටිනවා හැර අනාගතය සකසන්නට මා උත්සහයක්වත් දරන්නේ නැත.
මට සිතෙන හැටියට නම් විවාහය, ආදරය, යනු අපි ජීවිතය පරදු තබා අල්ලන්නා වූ සූදුවකි. සූදුව දිනුවේ නම්, එය ජීවිතාත්තය දක්වා, සමහර විටෙක සසරාන්තය දක්වා දිනුවා වෙයි. එසේ නොවුනහොත් පරදු තැබුවේ ජීවිතය නිසාවෙන් සිදුවන පාඩුව මෙතෙකැයි කිව නොහැකි වනු ඇත. මා සිතනා පරිද්දෙන් අපි දෙදෙනාම එම සූදුව දිනුවෙමු. ඒ සසරාන්තය දක්වාම වේවා ! යන්න අප දෙදෙනාගේ ඒකායන පැතුමයි.
නිවස තවමත් නිමවා ඉවර නැත. එහෙත්, ‘වැස්සෙන්, අව්වෙන්, මුවා වී සිටීමට අපටම කියා පැලක් තිබෙන්නේ’ යැයි සිතීමත් හිතට ගෙන එන්නේ අස්වැසිල්ලකි. සැනසිල්ලකි. අප දෙදෙනා විවාහයෙන් පසුව එක් දිනක්වත් කුළී නිවසකවත්, දෙමව්පියන්ගේ නිවාසවලවත්, සිටියේ නැත. දෙවන දවසේ උත්සවයෙන් පසු අප ආවේ අපේම ගෙදරටය. මේ සියලු කාරණා නිසා, අපි අවිහිංසක ආඩම්බරයක් හිත දරාගත් සාඩම්බර ප්‍රේම වන්තයෝ වෙමු.

