“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 08 කොටස

එළඹ සිටි අවස්ථාවට මැදහත් සිතින් මුහුණ දීම ……

  

 

 

කුඩා කල සිට දෙමව්පිය සහෝදර ඇසුරේ හැදුනු වැඩුනු කෙනෙකු හට ආදරණිය සහකරුවෙකු හෝ ආදරණිය සහකාරියක මුණ ගැසුනු විට එතෙක් ගත කල ජීවිතය වෙනස් වන බව සැබෑවකි. එනමුදු ඔවුන් තවමත් සිය දෙමව්පිය සහෝදර සහෝදරියන්ගෙන් සැදුම් ලත් පවුලේ කොටසක් බව කිසි විටෙක අමතක කල යුතු නොවේ.

අද මා කුමක් කීවද මට නම් බොහෝ අවස්ථාවන් වලදී ඒ බව අමතක වූ බව සත්‍යයකි. එකල ලද හැම අවස්ථාවකදීම මා උත්සහ කලේ ඔහු හමුවිමටය. ගෙදර අවශ්‍යතාවකටවත් මා නිවසේ රදවා ගැනීම අම්මාට අසීරු කරුණක් විය. අප දෙදෙනාගේ නිවාඩු ද බොහෝ සෙයින් ඉතිරි වූයේ අසනීපයකටවත් ගෙදර නැවතීම ඉතාමත් කලාතුරකින් සිද්ධ වූවක් බැවිනි.

 ඒ දිනවල අවුරුදු නිවාඩුවට හෝ වෙනත් අවශ්‍යතාවකට ගමේ යෑම මට මහ කරදරයක්විය. එයට හේතුව ගමේ ගියහොත් නැවත පැමිණෙන්නේ සතියකට දෙකකට පසුව වීමය. පසුගිය අවුරුද්දේ අවුරුදු නිවාඩුවට තාත්තා කොළඹ සිටියදී අම්මාත්, මාත්, නංගිලා දෙදෙනාත් දුම්රියෙන් බණ්ඩාරවෙල ගියෙමු. යාමට පෙර මා සැමියා, (එවිට සැමියා නොවේ) මාගේ සේවාස්ථානයට පැමිණ, මාත් සමග ගොස්, මට ගෙන යාමට අවශ්‍ය ව තබූ දේ කිහිපයක් නුගේගොඩින් අරන් දුන්නේය. ඉන්පසු අප දෙදෙනා කොටුව දුම්රිය ස්ථානයට පැමිණි අතර ඒ එන අතරතුර ‘අයියෝ මට යන්න බැහැ’ කියමින් දෙනෙතින් මෙන්ම නහයෙන්ද හඩමින් පැමිණියෙමි. ඊට පෙර අවස්ථාවකදීද (එවිට මෝටර් සයිකලය නොවීය) ඒ ආකාරයටම නුගේගොඩ සිට කොටුව දුම්රිය ස්ථානයට බසයෙන් එන අතරතුර ඉතාමත් ‍බොලඳ ලෙස හඬමින් පැමිණි බවක් මතකයේ තිබේ. “ඇයි මේ අඬන්නේ? ෆෝන් එක තියෙනවානේ. කෝල් කරන්න පුළුවන්නේ ඕන වෙලාවක” කියමින් ඔහු මා අස් වැසුවේය. (ඒ කෙසේ වුවද මා කිසිම පැකීලීමකින් තොරව ම ඒ ගමන ගියේ නම් ඔහු ඒ ගැන පුදුම වන බවද දනිමි.)

මුළු ගමන පුරාම හිත් වේදනාවෙන් යුතුව කල්පනා කරමින් ගියෙමි. අම්මා, නංගිලා සිටියාට මට ඒ මදි විය. වරින් වර දුරකථන ඇමතුම් ලදිමි. මාද දුරකථන ඇමතුම් දුනිමි. කෙසේ ‍හෝ හිමිදිරි පාන්දර වන විට අපි බණ්ඩාරවෙලට සේන්දු වී සිටියෙමු. මාමාගේ නිවස පිහිටා තිබූ ස්ථානයට දුරකථන සංඥා හරි හැටි ක්‍රියාත්මක නොවුනේ කදු වලින් වටවි ඇති නිසාය. ඒ තවත් හිත් අමාරු වැඩි කරවන්නක් විය. කෙසේ හෝ සම්බන්ධ කරගත්තද කථා කරනවාට වඩා හැඬූ බව අද සිහිකරන්නේ මද ලජ්ජාවකිනි. දින දෙකක් යන විට මා හට උණ ගැණින. වෙනදා සීතලේ, පින්නේ, දෙසැම්බර් මාසයේදී පවා මද සෙම්ප්‍රතිශ්‍යාවක්වත් නොමැතිව ගමේ ගත කර ඇති මට මෙවර ගැණුනේ නම් ආදර උණ බව මා හට වැටහිණ. කෙසේ හෝ මා නිසා අනෙක් අයටත් යන්නට සිටි ගමන් අහිමි විය. උණ තත්ත්වය නිසා, නිවාඩුව අවසන් වනතුරු අවදි වූ වේලේ පටන් නිදා ගනිමින් ගත කරන්නට මා හට සිදු විය. ඇත්ත වශයෙන්ම මා සාංකා තත්ත්වයෙන් පෙළුනු බව වටහා ගත්තේ ගමේ සිට කොළඹ පැමිණ ඔහු හමු වු මොහොතේය. එය වටහා දීමට ද අපහසු තත්ත්වයකි.

ඔය ආකාරයෙන් නිවසේ අය සමඟ විනෝද චාරිකාවක් ගියද, මා හට නම් විනෝදයක් නොවිනි.

 

ඇත්තටම අප හැසිරිය යුත්තේ ඒ ආකාරයටද? …………………………………..

  

 

සිතා මතා ඇති කර ගත් තත්ත්වයක් නොවූවද, අවශ්‍ය වූයේ නම් එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි මා හට දැන් සිතේ. මනෝ පුබ්බංග මා ධම්මා …………………………. යනුවෙන් කියැවෙන බුදු වදන සනාථ කරමින් එම තත්ත්වයට හේතුව හුදෙක් මගේම සිත පමණක් බව මේ වන විට මට අවබෝධ වී ඇත. පෙර, මේ ලිපිය ආරම්භයේ දී මා පැවසූ පරිද්දෙන්ම අප උපන් දා සිට මියයනතුරු ම විවිධාකාර සමාජ කොටස් වලට හෝ විවිධාකාර තනි පුද්ගලයන් හට අඩු වැඩි වශයෙන් සම්බන්ධකම් වලින් බැ‍ඳේ. ඒ ඒ කොටස් වලට ඒ ඒ අවස්ථාවේදී අපෙන් විය යුතු කොටස සිද්ධ නොවූයේ නම් එහිදී ඇති වන්නේ ගැටළුකාරී තත්ත්වයකි. උදාහරණයක් වශයෙන් ගත් කල රැකියාව කරන අවස්ථාවේදී නිවස ගැන සිත සිතා සිටීමත් නිවසේදී රැකියාවේ කටයුතු ගැන සිත සිතා සිටීමත් ඒ ස්ථාන දෙකෙහිම කටයුතු අඩාල කිරීමට හේතු විය හැක.

මව්පිය සහෝදර සහෝදරියන් සමඟ ගත කරන කාලය ඔවුන් සමඟ උපරිමයෙන් සතුටින් ගත කල යුතු බව මගේ දැන් හැඟීමයි. අප ඔවුන්ගේ සමාජයේ කොටසකි. අපගේ ආදරය, කරුණාව, බැඳීම ලබන්නට ඔවුනට අයිතියක් ඇත. ඒ දේ ලබා දීමට අප හට වගකීමක් මෙන්ම යුතුකමක් ද ඇත. යම් හෙයකින් අපගේ අම්මා හෝ තාත්තා අපව නොසලකා හැර වෙනත් වෙනත් දේ ගැන සිතමින් සිටින්නට පටන් ගත්තා නම් මේ තත්ත්වයේ ඇති බැරෑරුම් බව අප හට මොනවට පැහැදිලි වනු ඇත. අපට ඇති සමාජ සම්බන්ධතා කුලක වශයෙන් ගතහොත් අප සිටින්නේ කුලක ඡේදනයේ බව පෙනී යයි. එසේ නම් අපට එක් කුලකයකට කොටු වී සිටිය නොහැක. ඒ ඒ කුලකය තුල අපගේ කාර්යය භාරය වටහාගෙන ක්‍රියා කිරීම වඩාත් ම සුදුසු දෙයයි.

මේ බව මට දැන් වඩාත්ම පැහැදිලි වී ඇත. මම දැන් විවාහක කාන්තාවක් වෙමි. මාගේ ගමන් බිමන් සියල්ල සැමියා හා බැ‍ඳේ. එබැවින් දැන් මා හට පෙර සිටි නිදහස් කිරිල්ල, අම්මාගේ තාත්තාගේ දියණිය, නැගණියන්ගේ අක්කා වශයෙන් ඔවුන් හා තනිව දුර ගමන් යා නොහැක. එසේ යතොත් එයින් සිදුවන්නේ විවාහ ජීවිතයට නොගැලපෙන දෙයකි. අනෙක් අතට එකල විඳින්නට තිබූ යම් යම් දේ මා අතින් ‍මා නොදැනුවත්වම ගිලිහී ඇති බව දැන් දැන් මට පසක් වෙයි. ඒ අවස්ථාවේදි ඔවුන් සමඟ සිංදුවක් කියා සතුටින් ඒ ගමන් ගියේ නම් මා එකල ගතකල යුතු ආකාරයට ගතකල බව සිතා මා හට දැන් සතුටු විය හැක. ඇත්තටම, ‘ආයේමත් කිසිමදාක ඔවුන් සමඟ එවන් ගමන් යාමට මා හට නොහැකිය’ යන සිතුවිල්ල දැන් මා සිත පාරවයි. මට එවන් ගමනක් යාමට අවශ්‍යතාවක් ඇති වුවහොත් මා සැමියා මා එයින් වළක්වන්නේ නැත. එනමුදු එදා සිටි මා නොවෙයි අද සිටින්නේ. එදා සිටි තත්ත්වයෙන් එයට සහභාගී වන්නට අද මට හැකියාවක් නැත. මට පෙරට වඩා දැන් වගකීම් යුතුකම් තිබේ. ඇත්තටම දැන් ඔහු මා හට යාමට අවසර දුන්නද, නොයන තත්ත්වයක මම සිටිමි. එනමුදු අහිමි කරගත් අවස්ථාවන් පිළිබඳ සිහින් සංවේගයක් එවන් අවස්ථාවන් සිහිවන විට මා සිත පෙළයි.

එබැවින් එළඹී අවස්ථාවට මැදහත් සිතින් මුහුණ දීමට පුරුදු වීම ඉතාමත් වැදගත් කාරණාවකි. කාලයෙන් කාලයට ස්වභාව ධර්මයා විසින් අප වෙත ලං කරනා පුද්ගලයන් සහ සමාජ ‍කොට්ටාශ සමගින් ඒ ඒ අවස්ථාවට උචිත වන පරිදි කටයුතු කිරීම, සියලු සමාජ සම්බන්ධතා යහපත් අයුරින් පවත්නා ගෙන යාමට අප හට මහඟු උපකාරයක් වනවා මෙන්ම අපට පසුතැවිලි නොවී සතුටු සිතින් අනාගතයට මුහුණ දීමට මග ද පාදයි.

 

5 Comments

  1. ඔබ ලියන ආකාරය බොහෙ‍ා් සන්වේදීය ඇත්තටම ඔබත් සමග මම 100% ක් එකග වෙමි ඔබේ ජීවිත කතාවෙන ඉගෙන ගතයුතු කරුනු බොහෝය ලියන්න දිගටම……………………………………..

  2. ඔන්න මම අද මේ ලිපි පෙල PDF එකක්ට මුද්‍රණය කරා, පස්සේ ඕනේ වෙයිනේ. මේ ලිපි පෙල ඉවර කරනවට ලෝභයි වගේ, ඒත් මට දැනට මේ සියල්ලම මිරිඟුවක් වගේ. මොකද දැන් ඒක නැති නිසා…

  3. @ චතුරංග

    ස්තූතියි. ලිවීමට ඇති දේ අවසන් වනතුරු ලියමි.

    @බිංකු

    හොඳයි.
    “ඒත් මට දැනට මේ සියල්ලම මිරිඟුවක් වගේ. මොකද දැන් ඒක නැති නිසා…” මට මේ ටික නොතේරේ.

  4. දැන් නෑ කිව්වේ දැන් මම තනියා කියලා, හික්ස්!

  5. මටත් ලබන සතියේ අම්මලා එක්ක නුවර යන්න තියනවා.. තනියම යන්න වෙන එක ගැන හිත හිත හිටියේ.. මේක කියෙව්වම හරි ගියා වගේ… අම්මා‍ගේ දූ විතරක් වෙලා නුවර යනවා…!:D

Leave a Reply