අම්මෝ…….. සීතලයි…………… සීතල හිතටද? ගතටද?

ඒ කාලේ …………………………………..

 

ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ ‍පොඩි පංති වල ඉද්දී, උදේට අවදි කරවා ගන්න අම්මාට කොච්චර නම් අමාරුද?

අම්මා එනවා ඇඳ ලඟට,

“ලොකු දුව නැගිටින්න. පරක්කු වෙනවා.

මධූ……… දිනූ……… නැගිටින්න. අනේ අනේ ගෑනු ළමයි……… ඔහොම නිදා ගත්තොත් හොඳට හිටි”

එතකොට අපි…………….. මොන නැගිටිනවද? අම්මෝ සීතලයි කියලා අනිත් පැත්ත හැරිලා තවදුරටත් නිදිය ගත්ත වාර ගණන තමයි වැඩි.

mother-cooking-kitchen_~u10838628එතකොට අම්මා………………. ඇයි අම්මාට සීතල නැද්ද? නැත්නම් අම්මාට සීතල දැනෙන්නේ නැද්ද? නැත්නම් වෙන මොකක් හරිද?

මොන තරම් සීතල වුනත් අම්මාගේ අතේ වළලු උදේ පාන්දර 4 ඉඳන් හඬ නගන්න පටන් ගන්න එකනම් රීතියක් වගෙයි. පොල් බිඳිනවා. පොල් ගානවා. එළවළු කපනවා, ඒ අතරේ ඇඳ ලඟටත් දුවගෙන එනවා.

“නැගිටපල්ලා. නැගිටපල්ලා. වතුර එකක් ගෙනල්ලා නාවන්න කලින්”

ඒ පාර නම් එනපොට හොඳ නැත. අත් දෙකත් ගුලි කරගෙන, වැනි වැනි තුන්දෙනාම යනවා කුස්සියට. කුස්සියට කිව්වාට හරියටම කියනවා නම් දර ලිප ලඟට. ගිහින් අනේ අර අගේට හෝස් ගාලා පත්තුවෙන ලිපට දර ඇතුල් කර කර පිඹිනවා.

මොකද? අම්මාට ආදරේට උදව් කරන්න හිතාගෙනද?

අනේ නැහැ. පැංචියෝ තුන්දෙනෙක් පෙළට ඉඳන් ගිණි තපිනවා. ගිණි තැප තැප නිදි කිරනවා. අම්මාගේ වදන් බලය හමුවේ ගිණි තැපිල්ලත් නිදි කිරිල්ලත් කිරීම අපහසුම වන අවස්ථාවේ දී තමයි ඉස්කෝලේ යන්න සූදානම් වෙන්න හිතාගෙන එතැනින් ඉවත් වෙන්නේ.

පස්සේ කාලේ නම් අම්මා අවදි වෙන වෙලාවටම නැතත් අවදි වෙලා පොල් ගාන්න, තේ හදන්න එහෙම අපි පුරුදු වුනා. ඒ කොහොම වුනත් “අම්මෝ සීතලයි” කියන සිතුවිල්ලෙන් නම් මිදුනේ නැහැ. (අනෙක් අතට වෙන අයට දැනෙන ප්‍රමාණයට වඩා මට සීතල දැනෙන ප්‍රමාණයේ වැඩි ගතියකුත් නොතිබුනාම නොවෙයි. යාන්තම් සීතල වුනත් ඒ කාලේ මගේ දත් ටික කට කට ගාලා සද්ද කරන්න එ හොඳට ම ප්‍රමාණවත්.)

මේ කාලේ …………………………………..

දැන් මම………………….. අම්මා කෙනෙක්.

අපේ අම්මා වගේම, වැඩට යන අම්මා කෙනෙක්.

පුංචි පැංචියෙක්, එයාගේ තාත්තාඅම්මා ලඟ තියලා, කඳුළු හංගා ගෙන වැඩට යන අම්මා කෙනෙක්.

ඒ විතරක් නෙමෙයි, ඒ පුංචි පැංචි හැරිලා පෙන්නන පෙන්නන පැත්තට ඇවිදින, ඒ පුංචි පැංචිට කවන පොවන, ඒ පුංචි පැංචිව නාවන රැක බලා ගන්න, ඒ සඳහා මුළු දවසම කැප කරන, ආදරණීය තාත්තාඅම්මාගේ ලේලිත් මමයි.

ඉතිං………………. ඉස්සර නම් ඉව්වේ නැත්නම් කෑවා කඩෙන්.

ඒත් දැන් එහෙමCB106347 පුළුවන්ද?

උඩ ඡේදයේ විස්තර කරන ලද දේවල් වල නිරත වෙලා මුළු දවසම ගත කරන තාත්තාඅම්මා ඇතුළු එදිනට නිවසේ සිටින සියලු දෙනාම කෑවාද, නොකෑවාද, ඒ ගැන ඇහුවාම කෑවා කෑවා කිව්වාට ඇත්තටම කෑවාද යන්න නොදන්නා අවිනිශ්චිතතාවකින් දවස ගෙවන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් දෙසැම්බර් ජනවාරි මාස සීතල බව පිළිගත් සම්මතයක්නේ. අපේ පුංචි පැංචිගේ තාත්තාත් හැමදාම උදේට ඒ බව පෙන්වා දෙයි. “අනේ රන්දි අද උයන්න ඕනේ නැහැ. තව ටිකක් නිදා ගන්න. අම්මෝ මාර සීතලක්නේ.”

ඇත්තටම ඔය කියන තරම් සීතලද? ……………. නැහැ, මං හිතන්නේ නැහැ.

ඇත්තටම මං හිතන්නේ නැද්ද? මට දැනෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරිද?

“තාත්ති ඔයා බබා ළඟින් දොයියන්න. මම යනවා පහළට. උයන්න ඕනිනේ.” කියමින් මම ඇ‍දෙන් නැගිට ගමි.

මම යමි. උයමි. තේ හදමි.

බබා නැගිට හඬනවිට නැවතත් උඩට එමි. කිරි දෙමි. නලවමි. තාත්ති අතට දී නැවතත් යමි.

ගොස් ඉතිරිය සම්පූර්ණ කරමි.

ඒ අතරතුර පුංච් පැංචිගේ තාත්තාඅම්මා පැමිණෙයි. වසර 30කට ආසන්න කාලයක් දරු තිදෙනෙකුගේ, සැමියාගේ වැඩ කටයුතු නොපිරිහෙලා කරපු ඒ අම්මාත් එන්නේ, “හරි සීතලයි නේද?” අසමිනි.

මම අසමි. “සීතලයි ?. අනේ ඇත්තටම මට එච්චර සීතලක් දැනෙන්නේ නැහැනේ අම්මා.”

අම්මා කියයි. “එහෙම තමයි අම්මලා වුනාම. ඔයා සීතලයි කිය කියා හිටියා නම් දුවේ ඔයාට ඔය වැඩ කරන්න බැරි වෙනවානේ.”

ඔන්න මම මේ ලිපියේ තැන් දෙකක දී මතුකල ප්‍රශ්න දෙක නැවතත් සටහන් කරන්නයි යන්නේ.

“එතකොට අම්මා………………. ඇයි අම්මාට සීතල නැද්ද? නැත්නම් අම්මාට සීතල දැනෙන්නේ නැද්ද? නැත්නම් වෙන මොකක් හරිද?”

“ඇත්තටම මං හිතන්නේ නැද්ද? මට දැනෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරිද?”

අම්මා යන පදවිය තුලදී ගැහැණියක කොතරම් වෙනස් වෙනවාද යත් වෙනස් වී ඇති බව පෙනුනත්, ඒ වෙනස්වීම සිදු වූයේ කොයි වේලේදැයි අනිත් අයට කෙසේ වෙතත් ඇයටවත් වටහා ගත නොහැකි තරම්ය.

 

12 Comments

  1. හොඳ අත්දැකීමක් බෙදා ගත්තට ඔබට මගේ ස්තූතිය!

  2. මේ ලොව අරුම පුදුම වස්තූන් ඇත. ඉන් එකක් ලෙස අම්මා ගෙන හැර දැක්විය හැකිය. අම්මාගේ කැප කිරීම අම්මාට හැර වෙන කිසිවකුට කළ නොහැක. ඇගේ ශක්තිය වෙන එකකුට සමාන කල නොහැක. ඒ අම්මා, අම්මා කෙනෙකු නිසාය.

    කෙසේ වෙතත් වැදූ දරුවා මග දමා යන අම්මලාද( ගැහැනුද ) අද සිටින බවද අමතක නොකළ යුතුය.

    /බිඟුවා…!

  3. ලස්සන අදහසක්….

  4. ලස්සන post එකක්. මට මගේ අම්මව මතක්වුණා. අද මම තැනක ඉන්නවානම් ඒ දැනුමට වග කියන්නේ මගේ තාත්තා. ඒ වගේම ඒ හැගීම් වලට වග කියන්නේ මගේ අම්මා.

    ඒ නිසා මම කරන කියන ලියන හුගක් දේවල් අවංකව හිතට එකගව කරන්න මට පුලුවන්.

    වෙලාවක් ලැබුණොත් මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න එන්න.ඔබේ comment එකක් බලාපොරොත්තු වෙනවා. ‍

  5. ඇත්තටම අම්මලට සීතල විතරක් නෙමේ බඩ ගින්න පවා දැනෙන් නැ, හොද කැමක් කද්දි එයා කන් නතුව අපිට දෙන හැටි, මගෙ අම්ම කොච්චර බඩ ගින්නේ ඉදලා කැම කන්න ගත්තත් මන් ලග හිටියොත් එයාගේ බඩ ගින්න පැත්තකින් දාලා මට කවනවා, මමත් කොච්චර බඩ පිරිලා තිබ්බත් අම්මා කවද්දි කනවා නැත්නම් එයත් කන්න බෑ කියලා අත හොද ගන්නවා, අද මම වෙන රටක ඉදන් තනියම උයාගෙන කනවා අම්මා කතා කරපු ගමන් අහන්නේ කෑවද පූතේ කියලා, මන් කාපුවා එයට කීවම එයාට බඩ පිරෙනවලු. මට කන්න තිබ්බේ නෑතත් මම බොරුවට කෑවා කියන්නේ එය තවත් අපි වෙනුවෙන් දුක් විදින්න ඔනි නෑති හින්දයි ලමයි තරුන වෙද්දි සත්්‍ය ප්‍රේමය කියලා, කොහෙවත් නැති එකියක්ට හෝ එකෙක්ට තමන්ගේ ජීවිතේටත් වඩා අදරේ කරනවා මෝඩ හරක් තමන්ගේ අම්මත්ට තාත්ටයි වඩා මේ ලොකෙ කිසිම කෙනෙක් අපිට ආදරේ නෑ.

  6. jeewithemal

    ලස්සනයි

  7. Nice Blog..Really True

  8. දුකා

    හරිම සංවේදී ලියවිලල්ක් . . ඇස් දෙකට කඳුලු උනන ලියවිල්ලක් . .. . ඇත්තෙන්ම අම්මාගේ ආදරේට සමාන කරන්න පුලුවන් දෙයක් මේ මිහිපිට තියෙනවාද සැකයි . . .

  9. කාන්තාවකට/ මවකට විතරක්දෝ ලියන්න පුළුවන් අගනා සටහනක්!

  10. nice post akka අපේ අම්ම උදේ 0400 නැගිටලා රෑ 2330 නිදාගන්නේ ඒ ගැන පුදුමාකාර කැපකිරීමක් අම්මගේ ආදරේ ගැන කියන්න හැමදාමත් වගේ අදත් මම දක්ස නෑ අක්ක

  11. “අම්මා යන පදවිය තුලදී ගැහැණියක කොතරම් වෙනස් වෙනවාද යත් වෙනස් වී ඇති බව පෙනුනත්, ඒ වෙනස්වීම සිදු වූයේ කොයි වේලේදැයි අනිත් අයට කෙසේ වෙතත් ඇයටවත් වටහා ගත නොහැකි තරම්ය.”

    මම හිතන්නේ ඒක පටන් ගන්නේ බිරිඳ කියන තැන ඉඳලාමයි.
    මටත් මහත්තයාට උදේට උයලා දෙන්න බැරි උනොත් දවසම හරිම දුකයි.
    ඉතින් අම්මා කෙනෙක් උනාම කොහොම වෙයිද..
    ( මමත් අම්මා කෙනෙක් වෙන්න ඉන්න නිසා එහෙම හිතෙනවා )

Leave a Reply