26ට දෙන්නම් කිව්වාම 27.50ට ගත්තෙමු ……..

මම දැන් කියන්න යන දේ සිද්ධ වෙන හැම අවස්ථාවකදීම ඒ ගැන සටහනක් තබන්නම මගේ හිත මට බල කලත් ඒ සඳහා ඉසිඹුවක් ලද්දේ අද දිනය.

පසු ගිය දිනෙක අප දෙදෙනා වැඩ නිමවා ගෙදර යන අතරතුර පොල් ගෙඩි කිහිපයක් ගැනීම සඳහා පාර අයිනේ පොල් ගොඩ කිහිපයක් තබාගෙන විකුණමින් සිටි අම්මා කෙනෙකු ආසන්නයේ නැවතුනෙමු.

“පොල් කීයද?”

“මේවා 25යි මේවා 27යි මේවා 32යි”

ඇය පොල් ගොඩ දක්වමින් පැවසුවාය. 27යි කියූ පොල් අපට සෑහුනු බැවින් ඒවා ගන්න සිතා නැවත ඇය දෙස බැලූවිට,

“26 ගානේ දෙන්නම් ගන්න මහත්තයා” ඇය පැවසුවේ අප හෙට්ටු කරන්නත් පෙරදීය. සමහර විට කෙසේ හෝ පොල් ගෙඩියක් විකුණා ගැනීම ඇයගේ අභිලාශය වන්නට ඇත.

“එහෙනම් 4ක් දෙන්න….. රන්දි රු.104ක් දෙන්න”

ඇය පොල් ගෙඩි 4ක් මල්ලකට දමන අතර මම මුදල් ගෙවීමට සූදානම් වීමි. රු. 100ක් තිබූ අතර මාරු කාසි 4ක් නොවිනි. එබැවින් රු. 110ක් ඇයට දීමි. ඇය ඒ මුදල අතට අරං මුදල් පෙට්ටිය පෙරලන්නට වූයේ රු. 6ක් සොයා ගැනීම සඳහාය. සමහරවිට ඒ රඟපෑමක් ද විය හැක.  එහෙත් “ඉතිරි ඕනේ නැහැ, අපි යනවා” යි කියමින් අප පිටත් වීමට සූදානම් වන විට ඇය මුදල් දීමට අත දිගු කලත් එය නොගෙන අපි ආවෙමු.

 

dscf2174_midරු. 6න් අපට රට ඇල්ලිය හැකිද? එහෙත් ඒ රු. 6 ඇයට යම් තරමකින් හෝ උපකාරකයක් විය හැක. ටකරන් කැබලි කිහිපයකින් සෙවිලි කරන ලද ඒ මඩුව තුලට වී උදේ ඉඳන් රෑ වනතුරු ඇය ජීවිතය හා හැපෙන්නේ තමන් ඇතුළු කිහිප දෙනෙකුගේ කුසගිණි නිවා ගන්නට විය හැක. සමහරවිට ඒ කිහිපදෙනා ඇතුලත රෝගී කෙනෙකුද සිටිනවා වියහැක. දහඩිය දමා, හවස් වනවිට ඒවා වියළි, තෙල් පාට වුනු මුහුනෙන් යුතුව සිටි ඒ අම්මා  සිහිවනවිට මට හැගෙන්නේ ඇය නියෝජනය කරන්නේ අපේ රටේ බහුතරය බවයි. ඒ බහුතරය තලාපෙලා පාගා දමන්නේ ද ඔවුනට වඩා මද පමණකින් යහතින් සිටින අපේ පංතියේ අයම බව සිහිවනවිට උපදින්නේ කණගාටුවකි.

මම එහෙම කියන්නේ ඇයි? ……………………..

මම මෙහිදී වෙළඳනාම භාවිතා නොකරමි. මම එසේ සඳහන් නොකලාට ඔබ සියලු දෙනා ඒ පිළිබඳ දැනුවත් බව දනිමි.

352-6-odel-lingerieමසා නිම කරන ලද ඇඳුම් විකිණීමට තබා ඇති සුපිරි වෙළඳ සැල් ගැන ඔබ මා දන්නෙමු. සමහර අවස්ථා වලදී දුටු පමණින් ලස්සනයි කියා සිතුනු ඇඳුමක්, රු 500ක් පමණ වටී කියා සිතුනද, සටහන් කල මිල රු 650 වුවත් මිලදී ගැනීමට අපි පසුබට වන්නෙමුද? එම සුපිරි වෙළඳ සැලේ සිටින සේවක සේවිකාවන් සමඟ හෙට්ටු කරන්නට යන්නෙමුද? නැත. නිෂ්ශබ්දව ගිණි ගණන් දී නොවටිනා දේවල් පවා මිලදී ගෙන එන්නෙමු. සමහරවිට ඒ ඇඳුම් උඩටත් නැති පහලටත් නැති විච්චූරණය. ඒත් මොකද? ගත්තේ අහවල් තැනින්නේ !!!! ලේටස්ට් පැටන් !!!!!!

ඒත් වැරදිලාවත් පදික වෙළෙන්දෙක්ගෙන් ලේන්සුවක් ගන්න ගියා නම් ?…………….

“කීයද?”

“එකක් 15යි”

“අම්මෝ මාර ගණන්නේ”

“දෙකක් ගත්තොත් 25 ට දෙන්නම්”

“10ක් 100ට ගෙනල්ලා 2ක් 25ට දෙන්න !!. ගිණි කනවා. ඕවා තමුසෙලට දිරවනවද?”

වෙළෙන්දා අසරණ පුද්ගලයකු නම් තලා පෙලා දාන්නේ ඒ අයුරිනි.

රූපවාහිනියේ උදේ ඉඳන් රෑ වනතුරු ‍”තොග අවසන් වනතුරු රු 195යි” කිය කියා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන එක්තරා පිටි වර්ගයක්, රු 205ක් දී ගෙදර යන ගමන් අපි ගෙන ගොස් තිබූ බව දැන ගත්තේ අම්මා පැවසූ විටදීය.

ගමේ කඩේ මුදලාලි එහෙම කලා නම් ………………………..

මම මෙයින් කියන්නට බලාපොරොත්තු වන්නේ හොරකමට ඉඩ දියයුතුයි කියා නොවන බව පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් මානුෂිකව සිතා බැලිය හැකි සහ එසේ සිතා බැලිය යුතු අවස්ථාවේදී අප එසේ නොකල යුත්තේ මන්ද?

Sri Lanka 053ත්‍රී රෝද රථ රියදුරෙකු රු 10ක් වැඩිපුර ඉල්ලුවහොත් දෙස් දොවොල් තියා සමහරවිට අම්මා අප්පා පවා සිහිකරන මිනිස්සු කැබ් සර්විස් වලට ඉල්ලන ගණන් දී ගමන් යෙති.

මට දැනෙන අයුරින් පදික වෙළෙඳුන් වැනි මිනිසුන් හට හෙට්ටු කරන්නට ම ගානක් තබා මිල කියන්නට පුරුදු කර ඇත්තේ අපමය. ගණන සාධාරණයි කියා සිතුනද ඔවුන් සමග හෙට්ටු කරන්නට බොහෝ දෙන පුරුදුව සිටිති. උගුර ලේ රහ වනතුරු කෑ ගසා ඔවුන් ඉල්ලන්නේ ජීවිතය නොවේද? බොහෝ අවස්ථාවන් වලදී හොර බොරු කරන අයද සිටිති. එහෙත් එහිදී අප කල යුත්තේ විවෘත දෑසින්ද මනසින්ද ක්‍රියාකොට අපට අවශ්‍යදේ මිලදී ගැනීමය. ‘කැඩුනු බිඳුනු භාණ්ඩ ඇස වසා දීමට පදික වෙළෙඳුන් දක්ෂයෝය’ වැනි අදහසක් සමාජය තුල පවතී. මගේ පුද්ගලික මතය සහ අත්දැකීම නම් ඒ සඳහා සුපිරි වෙළෙන්දෝ ද දක්ෂයින් බවයි.

අනෙක් අතට රුපියල් මිලියන, බිලියන සහ ට්‍රිලියන වලින් සිදුවන වංචා, රටක් සහ රට වැසියන් වශයෙන් දෙනෙත් වසා බලා සිටි අපි, දෙසවන් වසා අසා සිටි අපි, උපරිමය රුපියල් 100කට යටත්ව ඉල්ලා සිටින එදා වේල වෙනුවෙන් ඒ තරම් හෙට්ටු කලයුතු වන්නේද?

පවතින ආර්ථිකයත් සමග අපටද යම් තරමක ආර්ථික අපහසුතා පවතින බව නොරහසකි. එහෙත් අපටත් වඩා අන්ත අසරණභාවයකින් යුතුව ජීවත් වන මිනිසුන් කෙරෙහි සාධාරණ අයුරකින් කටයුතු කිරීමට අපට හැකිනම් එය සාංඝික දානයක් දුන්නාට ද වඩා පිනක් වනු ඇත.

 

9 Comments

  1. මං ඉන්නෙ පිටරටක.

    මෙහෙ නං “ගෙදර යන ගමං” ජාතියෙ කඩ-ජාල කිහිපයක් තියෙනවා. හැම සතියෙම එක එක බඩු සාමාන්‍ය මිලට වඩා අඩුවෙන් දෙනව. මේ සතියෙ එක සෙට් එකක්. ඊ ලඟ සතියෙ වෙන ජාති.

    මං කරන්නෙ ඒ සතියෙ ලාබ කළ බඩු ගන්න එකයි. අත්‍යවශ්‍යම නං විතරයි ඉන් පිට යමක් ගන්නෙ.

    අනේවාසික

  2. පිටකොටුවෙ තමයි වංචනික වෙලෙන්දො ඉන්නෙ. උප නගර වල බිම වාඩි වෙලා එළවළු පලතුරු විකණන අය හොඳ මිනිස්සු.

    දවසක් පිටකොටුවෙන් මං ගත්ත අත්කොට කමිස දෙකක් ලාබෙට. පේමන්ට් එකෙන්. ගෙදර ගිහින් බැලින්නම් වම් අත ට වඩා දකුණු අත මහතයි. සයිස් වැරදිලා ෆැක්ටරියෙන් විසි කරපු ඒවා.

    තව දවසක් හොඳ ස්වේඩ් සපත්තු දෙකක් ගත්ත ලාබෙට. දාල බලලයි ගත්තෙ. හොඳ පෙට්ටියක දාල දුන්න. ගෙදර ගිහින් දාල බලන කොට එකක් උල්. අනික රවුම්. ඉතිං ආපහු උන්නයැ කොළඹ.

    කතන්දරකාරයා

  3. ඇත්ත තමා…

  4. මටත් ඔහොම හිතෙනවා ගොඩක් වෙලාවට..

  5. “උස් තැන් දැක පැකිළෙන්නේ — මිටි තැන් දැක පුප්පන්නේ” කියන්නෙ ඔන්න ඕකට තමයි. ඒක අපේ රටේ පොදු සින්ඩ්‍රෝම් එකක්.

    ‘කැඩුනු බිඳුනු භාණ්ඩ ඇස වසා දීමට පදික වෙළෙඳුන් දක්ෂයෝය’ — මේක මගේ අත්දැකීම් වලට අනුව පිටකොටුව පේමන්ට් එක වගේ තැන් වලට නම් නියමෙට ඇත්ත. සුපිරි වෙළෙන්දොත් ඕකට දක්ෂයො තමයි. හැබැයි සුපිරි වෙළෙන්දන්ව මට්ටු කරන්න පුළුවන් පාරිභෝගික අධිකාරිය හරහා.

  6. කඩේකට ගිහිල්ලා සඳහන් කරල තියන මිලට වඩා අඩුවට දෙන්නට වෙළෙන්දන්ට බල කිරීම මට පෙන්නන්න බැරි දෙයක්. මාත් එක්ක ගිය කෙනෙක් එහෙම කළොත් මාත් මොකක්ද අපහසුතාවකට පත් වෙනවා. මම කරන්නේ මිල ගණන් විමසලා ගාන වැරදි නැත්නම් (සාමාන්‍යයෙන් බඩුවක ගාන අපි දන්නවා නේ.) ඒ ගානට ගන්න පුළුවන් නම් ගන්නවා, නැත්නම් වෙන තැනකට යනවා.

    (සැ.යු: මට අත්දැකීම් ඇත්තේ ලිපි ද්‍රව්‍ය, පරිගණක උපාංග ආදිය මිලදීගෙන පමණක් බව කරාණාවෙන් සලකන්න! :D )

  7. aththatama, samajaye kaaleena deyak pilibadawa sidukaranalada kathikawathak…
    api kawadada supiri welanda salen hettu kale? eth padika welenda ekka?
    aththa, me diha yahapath konayakin balanna purudu kalata obata bohoma sthuthi..

  8. මට කවුදෝ කිව්වා, රෑට නයිට් ක්ලබ් ගිහින් දාස් ගානක මත්පැන් බීලා එන අය උදේට තැඹිලි බොන්න ගියාම තැඹිලි ගෙඩියේ ගාන ගැන තර්ක කරනවලු.

    මන් නම් ගොඩක් වෙලාවට බඩු ගන්නකොට අන්තිම කීයද කියල අහනවා. පරිගනක උපාංග සපත්තු සෙරෙප්පු වගේ ඒවා ගන්නකොට ඒකෙන් ලොකු වාසයක් නැත්තෙම නැහැ

  9. පිටකෙටෙුව ගැනනම් කතාකරන්න එපා මම බෙල්ට් එකක් ගන්න ගිහින් තව පෙිඩ්ඩෙන් තාම පිටකොටුවේ

Leave a Reply