Archive for the ‘රටේ වෙන දේවල් මගේ ඇසින්’ Category

26ට දෙන්නම් කිව්වාම 27.50ට ගත්තෙමු ……..

මම දැන් කියන්න යන දේ සිද්ධ වෙන හැම අවස්ථාවකදීම ඒ ගැන සටහනක් තබන්නම මගේ හිත මට බල කලත් ඒ සඳහා ඉසිඹුවක් ලද්දේ අද දිනය.

පසු ගිය දිනෙක අප දෙදෙනා වැඩ නිමවා ගෙදර යන අතරතුර පොල් ගෙඩි කිහිපයක් ගැනීම සඳහා පාර අයිනේ පොල් ගොඩ කිහිපයක් තබාගෙන විකුණමින් සිටි අම්මා කෙනෙකු ආසන්නයේ නැවතුනෙමු.

“පොල් කීයද?”

“මේවා 25යි මේවා 27යි මේවා 32යි”

ඇය පොල් ගොඩ දක්වමින් පැවසුවාය. 27යි කියූ පොල් අපට සෑහුනු බැවින් ඒවා ගන්න සිතා නැවත ඇය දෙස බැලූවිට,

“26 ගානේ දෙන්නම් ගන්න මහත්තයා” ඇය පැවසුවේ අප හෙට්ටු කරන්නත් පෙරදීය. සමහර විට කෙසේ හෝ පොල් ගෙඩියක් විකුණා ගැනීම ඇයගේ අභිලාශය වන්නට ඇත.

“එහෙනම් 4ක් දෙන්න….. රන්දි රු.104ක් දෙන්න”

ඇය පොල් ගෙඩි 4ක් මල්ලකට දමන අතර මම මුදල් ගෙවීමට සූදානම් වීමි. රු. 100ක් තිබූ අතර මාරු කාසි 4ක් නොවිනි. එබැවින් රු. 110ක් ඇයට දීමි. ඇය ඒ මුදල අතට අරං මුදල් පෙට්ටිය පෙරලන්නට වූයේ රු. 6ක් සොයා ගැනීම සඳහාය. සමහරවිට ඒ රඟපෑමක් ද විය හැක.  එහෙත් “ඉතිරි ඕනේ නැහැ, අපි යනවා” යි කියමින් අප පිටත් වීමට සූදානම් වන විට ඇය මුදල් දීමට අත දිගු කලත් එය නොගෙන අපි ආවෙමු.

 

dscf2174_midරු. 6න් අපට රට ඇල්ලිය හැකිද? එහෙත් ඒ රු. 6 ඇයට යම් තරමකින් හෝ උපකාරකයක් විය හැක. ටකරන් කැබලි කිහිපයකින් සෙවිලි කරන ලද ඒ මඩුව තුලට වී උදේ ඉඳන් රෑ වනතුරු ඇය ජීවිතය හා හැපෙන්නේ තමන් ඇතුළු කිහිප දෙනෙකුගේ කුසගිණි නිවා ගන්නට විය හැක. සමහරවිට ඒ කිහිපදෙනා ඇතුලත රෝගී කෙනෙකුද සිටිනවා වියහැක. දහඩිය දමා, හවස් වනවිට ඒවා වියළි, තෙල් පාට වුනු මුහුනෙන් යුතුව සිටි ඒ අම්මා  සිහිවනවිට මට හැගෙන්නේ ඇය නියෝජනය කරන්නේ අපේ රටේ බහුතරය බවයි. ඒ බහුතරය තලාපෙලා පාගා දමන්නේ ද ඔවුනට වඩා මද පමණකින් යහතින් සිටින අපේ පංතියේ අයම බව සිහිවනවිට උපදින්නේ කණගාටුවකි.

මම එහෙම කියන්නේ ඇයි? ……………………..

මම මෙහිදී වෙළඳනාම භාවිතා නොකරමි. මම එසේ සඳහන් නොකලාට ඔබ සියලු දෙනා ඒ පිළිබඳ දැනුවත් බව දනිමි.

352-6-odel-lingerieමසා නිම කරන ලද ඇඳුම් විකිණීමට තබා ඇති සුපිරි වෙළඳ සැල් ගැන ඔබ මා දන්නෙමු. සමහර අවස්ථා වලදී දුටු පමණින් ලස්සනයි කියා සිතුනු ඇඳුමක්, රු 500ක් පමණ වටී කියා සිතුනද, සටහන් කල මිල රු 650 වුවත් මිලදී ගැනීමට අපි පසුබට වන්නෙමුද? එම සුපිරි වෙළඳ සැලේ සිටින සේවක සේවිකාවන් සමඟ හෙට්ටු කරන්නට යන්නෙමුද? නැත. නිෂ්ශබ්දව ගිණි ගණන් දී නොවටිනා දේවල් පවා මිලදී ගෙන එන්නෙමු. සමහරවිට ඒ ඇඳුම් උඩටත් නැති පහලටත් නැති විච්චූරණය. ඒත් මොකද? ගත්තේ අහවල් තැනින්නේ !!!! ලේටස්ට් පැටන් !!!!!!

ඒත් වැරදිලාවත් පදික වෙළෙන්දෙක්ගෙන් ලේන්සුවක් ගන්න ගියා නම් ?…………….

“කීයද?”

“එකක් 15යි”

“අම්මෝ මාර ගණන්නේ”

“දෙකක් ගත්තොත් 25 ට දෙන්නම්”

“10ක් 100ට ගෙනල්ලා 2ක් 25ට දෙන්න !!. ගිණි කනවා. ඕවා තමුසෙලට දිරවනවද?”

වෙළෙන්දා අසරණ පුද්ගලයකු නම් තලා පෙලා දාන්නේ ඒ අයුරිනි.

රූපවාහිනියේ උදේ ඉඳන් රෑ වනතුරු ‍”තොග අවසන් වනතුරු රු 195යි” කිය කියා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන එක්තරා පිටි වර්ගයක්, රු 205ක් දී ගෙදර යන ගමන් අපි ගෙන ගොස් තිබූ බව දැන ගත්තේ අම්මා පැවසූ විටදීය.

ගමේ කඩේ මුදලාලි එහෙම කලා නම් ………………………..

මම මෙයින් කියන්නට බලාපොරොත්තු වන්නේ හොරකමට ඉඩ දියයුතුයි කියා නොවන බව පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් මානුෂිකව සිතා බැලිය හැකි සහ එසේ සිතා බැලිය යුතු අවස්ථාවේදී අප එසේ නොකල යුත්තේ මන්ද?

Sri Lanka 053ත්‍රී රෝද රථ රියදුරෙකු රු 10ක් වැඩිපුර ඉල්ලුවහොත් දෙස් දොවොල් තියා සමහරවිට අම්මා අප්පා පවා සිහිකරන මිනිස්සු කැබ් සර්විස් වලට ඉල්ලන ගණන් දී ගමන් යෙති.

මට දැනෙන අයුරින් පදික වෙළෙඳුන් වැනි මිනිසුන් හට හෙට්ටු කරන්නට ම ගානක් තබා මිල කියන්නට පුරුදු කර ඇත්තේ අපමය. ගණන සාධාරණයි කියා සිතුනද ඔවුන් සමග හෙට්ටු කරන්නට බොහෝ දෙන පුරුදුව සිටිති. උගුර ලේ රහ වනතුරු කෑ ගසා ඔවුන් ඉල්ලන්නේ ජීවිතය නොවේද? බොහෝ අවස්ථාවන් වලදී හොර බොරු කරන අයද සිටිති. එහෙත් එහිදී අප කල යුත්තේ විවෘත දෑසින්ද මනසින්ද ක්‍රියාකොට අපට අවශ්‍යදේ මිලදී ගැනීමය. ‘කැඩුනු බිඳුනු භාණ්ඩ ඇස වසා දීමට පදික වෙළෙඳුන් දක්ෂයෝය’ වැනි අදහසක් සමාජය තුල පවතී. මගේ පුද්ගලික මතය සහ අත්දැකීම නම් ඒ සඳහා සුපිරි වෙළෙන්දෝ ද දක්ෂයින් බවයි.

අනෙක් අතට රුපියල් මිලියන, බිලියන සහ ට්‍රිලියන වලින් සිදුවන වංචා, රටක් සහ රට වැසියන් වශයෙන් දෙනෙත් වසා බලා සිටි අපි, දෙසවන් වසා අසා සිටි අපි, උපරිමය රුපියල් 100කට යටත්ව ඉල්ලා සිටින එදා වේල වෙනුවෙන් ඒ තරම් හෙට්ටු කලයුතු වන්නේද?

පවතින ආර්ථිකයත් සමග අපටද යම් තරමක ආර්ථික අපහසුතා පවතින බව නොරහසකි. එහෙත් අපටත් වඩා අන්ත අසරණභාවයකින් යුතුව ජීවත් වන මිනිසුන් කෙරෙහි සාධාරණ අයුරකින් කටයුතු කිරීමට අපට හැකිනම් එය සාංඝික දානයක් දුන්නාට ද වඩා පිනක් වනු ඇත.

 

දිනන්නේද, පරදින්නේද වීරයෙකි ………………….

මට අද යෙහෙළියක එවා තිබූ ඊ මේලයක් දුටු විට, මෙතෙක් දවසක්, හෙට පැවැත්වෙන දේ ගැන කථා නොකර සිටින්නට මටම වී තිබුණු පොරොන්දුව මදකට පසෙකින් තබන්නට හිතුනා. ඒ මේලයෙන් එවා තිබුණු පිංතූරය ඔබ සැමටම දැක ගැනීමට මෙලෙසින් මගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරමි.doc

 

ඩෙංගු, සූකර උණ, තණකොළ සහ WHO සභාපති

මේ දවස් වල අපේ රටේ හරියට ප්‍රශ්න.

උතුරු නැගෙනහිර යුද්ධයට හිරවී සිටින අපේ හමුදාව,

අහිංසක අසරණ දමිළ සිවිල් ජනතාව,

ඔවුන්ට ආධාර එකතු කරන්න දහ අතේ ණය වෙන, මහන්සි වෙන ආණ්ඩුව,

තමන්ගේ පටි තද කර ගෙන, අහිංසක අසරණ දමිළ සිවිල් ජනතාවට ආධාර එක් රැස් කරන, පඩි පතට තඩි බද්දක් එකතු කරන තුරු ඇගිලි ගැනපු, ඊටත් වඩා අන්ත අසරණ සිංහල ජනතාව,

ඒ අතර තුර තණකොළ බුදින සහ වෙන වෙන දේ බුදින බස්නාහිර පළාතේ ජනතාව,

එකී නොකී සියලු දෙනාටම විවිධාකාර ප්‍රශ්න……………….

පසුගිය සති අන්තයේ නිවසේ රැදී සිටි බැවින් පැයෙන් පැයට කසාය වඩිය වාගේ ප්‍රචාරය වන ප්‍රවෘති විකාශනයන් අඩුවක් නැතිව බලා ගත හැකි විය. හැම පැයකදි ම වාගේ ඒවායින් විකාශය වූයේ මේ දින වල ලෝකයට ම උග්‍ර සෞඛ්‍ය ගැටළුවක් ව පවතින සූකර උණ රෝගය පිළිබදවයි. ඉන්දුනීසියාව ජපානය වාගේ රටවල ගුවන්තොටුපළ වල ගෙන ඇති විධිමත් ක්‍රියා මාර්ග දකින විට අපේ රට පිළිබද විළි ලැජ්ජාවෙන් බර වුන සියුම් සංතෝෂයක් ඇති වුනේ යැයි පැවසුවොත් නිවැරදිය. එම රටවල ගුවන්තොටුපළ සේවකයින් හදුනා ගැනීමටවත් නොහැකි වන පරිද්දෙන්, සකල සර්වාංගයම වසාගෙන, පැමිණෙන සියලු මගීන් දැඩි පරීක්ෂාවකට බදුන් කරන ආකාරය පැයෙන් පැයට පෙන්වද්දී, දැන් දැන් අපේ රටේ ගුවන්තොටුපළ ද මේ ආකාරයෙන් පෙන්වනු ඇතැයි  යන දවල් සිහිනයක ගැලී රුපවාහිනිය දෙස නෙත් යොමා ගෙන සිටියෙමු.

කොහේ පෙන්නන්නද?

ඊයේ ලංකාදීප පත්තරේ මුල් පිටුවේම දක්වා තිබුනේ උණ රෝග පරික්ෂාව සදහා ගුවන්තොටේ ඇති යන්ත්‍ර 4 ම ක්‍රියා විරහිතව පවතින බවයි. බොහොම හොදයි නේද? WHO සභාපතිගේ රටේ‍ සෞඛ්‍ය පිළිබද තත්ත්වය. ඒ අතර අපේ ගරු සෞඛ්‍ය ඇමතිතුමා, WHO සභාපතිට, වෙනත් උග්‍ර සෞඛ්‍ය ගැටළුවක් මතුවී තිබෙනවා. ඒ ඩෙංගු ද නොවේ. සූකර උණ ද නොවේ. බස්නාහිර පළාතේ ජනතාව බුදින ආහාර තමයි මේ දින වල එතුමාට ඇති වී තිබෙන උග්‍ර සෞඛ්‍ය ගැටළුව.

ලෝකයේ බෝවන රෝග පිළිබද ව එතුමාට තිබෙන්නේ ඉතාමත් අගනා දැක්මක්. පසුගිය මාසයේ දිනයක ඩෙංගු රෝගය පිළිබද ව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවතිණි. විරුද්ධ පාක්ෂිකයෙක්, “මේ උවදුර පිළිබද මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ, දැනටමත් මුඩුක්කු ආශ්‍රිතව මෙච්චර මෙච්චර ප්‍රමාණයක් රෝගයෙන් පෙළෙනවා”, (බිංදු 2 හෝ 3 ගණනක්) යැයි කරුණු ගෙන හැර පෑවේය. ඒ අවස්ථාවේ දී එතුමා ඉතාමත් අගනා ලෙස අංක ගණිතයෙන් කරුණු ගෙන හැර පෑවේය.

“අපේ අසල්වැසි ඉංදියාවේ පමණක් රෝගීන් ………….ක් (බිංදු 4 හෝ 5 ගණනක්) ඉන්නවා. එයින් මෙච්චරක් මිය යනවා” යැයි සෞඛ්‍ය ඇමතිතුමා පැවසූ සැනින්, පෙර ප්‍රශ්නය මතු කල තැනැත්තා ගත් කටටම, “ආ එහෙනම් කමක් නැහැ” යි පැවසුවේ සභාවම සිනා සයුරේ ගිල්වමිනි. තව දුරටත් කතාව පැවැත්වූ සෞඛ්‍ය ඇමතිතුමා පැවසුවේ මෙම රෝගය මර්දනය කරන්නට රජයට පමණක් නොහැකි බවය. (ඒ කතාව නම් සැබෑවකි). ‍ගෙවල් වල අලංකාරයට තබා ඇති මල් බදුන් තුල, මේස කකුල් වලට තබා ඇති කූඹි උගුල් තුල, ‍බෝවන ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමට රජයට නොහැකි බව තවදුරටත් එතුමා පැවසීය. (අනේ මෙහෙමත් කතාවක්). ප්‍රශ්නය මතු කල තැනැත්තා ඇසුවේ මුඩුක්කු ආශ්‍රිතව ඇති වී තිබෙන තත්ත්වයයි. අනේ ඒ මිනිස්සුන්ගෙන් බොහොමයක් දෙනාට අලංකාරයට මල් බදුන් තබන්නවත්, කූඹි උගුල් අටවන්නවත්, මේසයක් තබා බංකුවක් වත් තිබේ දැයි සැක සහිතය. ඔන්න ‍ඔහොමයි WHO සභාපතිගේ කතාව. WHO සිංහල දන්නවා නම් එහෙම……….?

කොහොම හරි අන්තිමට සූකර උණ අපේ රටට ආවාට පස්සේ (දැනටමත් ඇවිත් ඇති මේ යන විදියට නම්) කියාවි රජයට මේ තත්ත්වය තනිව පාලනය කර ගන්න බැහැ, මිනිස්සු මීට වඩා සූකරයින් ගැන කල්පනාකාරී විය යුතුයි කියලා. උතුරට ආධාර අරං හැල්මේ යන අපේ මිනිස්සුන්ටවත් පේන්නේ නැහැ මෙහි ඇති බරපතල බව. සේරටම කලින් කල යුතුව තිබෙන්නේ මේ සූකර උණ ප්‍රශ්නයට විසදුම් සෙවීම බවයි මගේ අදහස. කැස්ස කැහැ ගන්න බැරි උනාමත් ලිෆ්ටන් වටරවුමට දුවන අපේ අයියලා දැන් සද්දයක් වත් නැහැ.

ගුවන්තොටේ යන්ත්‍ර ‍ටික අලුත්වැඩියා කරනු !

සූකර උණ අප රටට ඒම වළකනු !

කියමින් ආණ්ඩුවට බලපෑමක් ඇති කරන්නට තණකොළ බුදින අයියලාටත්, වෙන වෙන දේ බුදින අයියලාටත්අමතකව ඇත්තේ ලගදීම ඌව ටත් දකුණ ටත් නෑ ගම් යාමට ඇති නිසා විය යුතුය. කෙසේ හෝ අපට පැවසීමට ඇත්තේ මෙපමණකි.

ශ්‍රී ලාංකිකයෙනි ! සීරුවෙන් සිටිමු(නු).

සූකර උණ මාරාන්තිකයි.

 

රැවටිල්ල, රැවටිල්ල, මෙහෙමත් රැවටිල්ලක් සහ රැවටීමක්

මෙන්න මේ කතාව, මගේ එක යාළුවෙක් කිව්ව කතාවක්. එයාගේ කන්තෝරුවේ වැඩි දෙනෙක්ම කොළඹ බෝඩිම් වල නැවතී රැකියාවට එන අය. ඉතින් කෑම හැමදාම වගේ කඩෙන්. දවසක් කන්තෝරුවට ඇවිල්ලා, දහවල් ආහාරය සදහා කෑම පැකට් විකුණන මනුස්සයෙක්. ඒ මනුස්සයාගේ විශේෂත්වය තමයි, අපි කවුරුත් දන්න ලන්ච් ෂීට් නමින් හදුන්වන ‍දේ වෙනුවට නෙළුම් කොලේ ආහාර ඔතා තිබීම. ඉතින් එදා, නුවර පලාතෙන් පැමිණ කොළඹ නැවතී මගේ මිතුරාගේ කන්තෝරුවට සේවය පිණිස පැමිණෙන එක මහත්මයෙක් මේ ආහාර පාර්සලයක මිල ගණන් ආදිය විමසුවේලු. මිල රු.75.00යි. හැබැයි වැඩි දෙයක් නැහැ, කරවල තෙල්දාලා, පරිප්පුයි, පොල් සම්බල් තෙම්පරාදුවයි, මැල්ලුමයි කිව්වලු අර මනුස්සයා. ‍(කොහොමද කටට කෙල ආවා නේද?)  හා, ඒ බොහොම හොදයි කියා එක් පාර්සලයක් මිලදී ගත් අර මහත්මයා, අනෙක් අයත් එක්ක දිවා ආහාරය සදහා වාඩි උනාලු.

අනේ අපොයි ! මොන නෙළුම් කොළද? කොට්ටං කොලේක බොහොම ලස්සනට ඔතලා තිබුනලු බත් ටික. ඇට දහයක පමණ පරිප්පු ස්වල්පයක්, පොල් සම්බල් (තෙම්පරාදුව නොවෙයි) ද, කරවල තෙල්දාලා (වගේ දෙයක්) සමග තිබුනලු බත් ටික. නරකම වැඩේ කියන්නේ කරවල තෙල්දාලා වගේ තිබුන දෙයත් කරවල නොවෙයිලු. කොහිල අල කරවල වගේ පේන්න කපලා, මිරිස් වැඩිපුර දාලා තෙල් දාලා.මේ එක වංචාවක් විතරක් නෙමෙයි නේද? කෙනෙක් කන බත් පතට මෙවන් රැවටිල්ලක් කරන්න තරම් මේ මිනිස්සු වැටිලා ඉන්න තත්ත්වය ගැන මොනවා හිතන්නද කියලා හිතා ගන්නත් බැහැ නේද? ඊට පස්සේ දවසකත් මේ මනුස්සයා මගදී මුණ ගැහිලා ඒ කන්තෝරැවේ කිහිප දෙනෙකුට. විරැද්ධව ක්‍රියා කරන්නත් සාක්ෂි අවශ්‍ය නිසා මේ අය බත් පැකට් එකක් ඇරලා පෙන්නන්න කියලා. අනේ මෙන්න ඒ පාර ‍හොදට නෙළුම් කොළේ ඔතපු, පෙරකී ආකාරයේ දේ වලින් සමන්විත, කෑම පාර්සලයක් පෙන්නුවලු. අනිත් ඒවා දිග හරින්න කිව්වා නම් වැඩේ අල්ලා ගන්න තිබුනා වුනත් වැරදිලාවත් ඒවා හොද ඒවා නම් මිලදී ගන්න සිදුවන නිසා ඔවුන් නිහඩව දිග හැරපු පාර්සලය විතරක් අර මනුස්සයාට කියලා ඔතා ගෙන පැමිණ තිබෙනවා. දන්නවාද? ඇවිත් දිග හැරියම ආපහු කොට්ටං කොලේ ඔතපු බත් එකක්ලු. අර මනුස්සයාට ඒ ගත්ත සල්ලි වලින් කන කෑමක් දිරවයිද? මෙහෙම රැවටීම් හැමදා කරන්න පුළුවන්ද?  මේ සිද්ධිය ඇහුවම ඒ ගැන හිතලා බැලුවම මට නම් හිතුනේ සමාජය කෙරෙහි කෝන්තරයක් තිබෙන මනුස්සයෙක් කරන වැඩක් කියලයි. නැත්නම් ඔහොම රවටනවාට වඩා හොද නැද්ද සමාන්‍ය ආකාරයට සකස් කරපු බත් පැකට් අලෙවි කලා නම්? (අනෙක් අතට අපේ මිනිස්සුත් දැන ගන්න ඕනේ එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න).

 

ඇයි මේ ????????????

දෙයියනේ කියලා දවස ගානේ වැටෙන Blogs බලමින් ඒවායින් ගත හැකි දෙයක් ඇත්නම් හිතේ රදවා ගනිමින් පහුගිය කාලේ ගත කලා

ඔහොම ඉන්න කොට ඉන්න කොට මටත් හිතුනා Blog ලියන්න දන්න දෙයක් තියෙනවා නම් කට්ටිය එක්ක බෙදා හදා ගන්න

ඒ නිසා ඔන්න මමත් පටන් ගත්තා Blog එකක් දැන් ටික දවසක් වෙනවා පටන් අරං

ඒත් දැන් දැන් වෙන දේවල් දකිද්දී සාමන්‍ය සමාජය තුළ වගේම මේ අපේ පුංචි සමාජය තුලත් කුහකත්වය රජයන්නට මාන බලන බවක් පෙනී යනවා එයට හේතු භුත වුන අයගේ යම් යම් Blog සටහන් නිසා කාටවත් කරදරයක් නැති අපේ අනිත් සහෝදර සහෝදරියන් කලබලයට පත් වෙලා

දන්නවද? ඒකෙන් වෙන්නේ අර අයගේ අදහස් මුදුන් පත් වෙන එක විතරක් නෙමෙයි මෙච්චර කාලයක් ලස්සන දේ වටිනා දේ වැදගත් දේ පමණක් Blog අවකාශයට මුදා හැරපු ඔබ සැම දෙනා කැති පොරෝ අරං යුද්ධයකට සැරසීමයි ඔබ සැමගේ නිර්මාණශීලි බාවය යට ගොස් වෛරී සිතුවිලි වලින් Blog අවකාශය පිරී යාමයි ඔබ හැමගේ තිබෙනා වූ නිර්මාණශීලීත්වය දැන් දැන් පෙරකී පුද්ගලයන් හට පහර දීමටත් මනා‍ සේ යොදා ගන්නා බවද පෙනී යමින් පවතිනවා

ඇයි මේ? ඒ වගේ පුද්ගලයින් හට මෙම Blog අවකාශ විනාශ කරන්න දෙන්නේ ඇයි? Anonymous ලා හට මෙච්චර වටිනා අපේ තැන විනාශ කරන්න ඉඩ හල යුතුද? සමහර අවස්ථාවන් වලදී ඔබ ම ඔබගේ Blog වල පවසන ආකාරයට කිසි දෙයකින් නොසැලී සිටීමේ හැකියාවක් ඔබට නැතිද? මා දකින ආකාරයට නම් අප කිසිවෙකු කලබල විය යුතු නැත කල යුතු එකම දෙය නම් එවැනි පුද්ගලයින් හදුනා ගෙන ඔවුන්ගෙන් ඈත්ව සිටීමයි ඔවුන් පවසන එකදු වදනකට වත් පිළිතුරැ නොදී සිටීමයි අවම තරමින් ඔවුන් යොදා තිබෙන Comments වල හරි වැරැද්දක් වත් නොසොයා සිටීමයි කොටින්ම කියනවා නම් ඔවුන් කියා ජාතියක් සිටීදැයි යන්න වත් නොපෙනෙන ලෙසින් සිටීමයි එවිට අපේ තැන අයෙත් අපේ තැනක් ම වනු ඇත