26ට දෙන්නම් කිව්වාම 27.50ට ගත්තෙමු ……..
Posted in රටේ වෙන දේවල් මගේ ඇසින් on 01/30/2010 02:36 am by randilමම දැන් කියන්න යන දේ සිද්ධ වෙන හැම අවස්ථාවකදීම ඒ ගැන සටහනක් තබන්නම මගේ හිත මට බල කලත් ඒ සඳහා ඉසිඹුවක් ලද්දේ අද දිනය.
පසු ගිය දිනෙක අප දෙදෙනා වැඩ නිමවා ගෙදර යන අතරතුර පොල් ගෙඩි කිහිපයක් ගැනීම සඳහා පාර අයිනේ පොල් ගොඩ කිහිපයක් තබාගෙන විකුණමින් සිටි අම්මා කෙනෙකු ආසන්නයේ නැවතුනෙමු.
“පොල් කීයද?”
“මේවා 25යි මේවා 27යි මේවා 32යි”
ඇය පොල් ගොඩ දක්වමින් පැවසුවාය. 27යි කියූ පොල් අපට සෑහුනු බැවින් ඒවා ගන්න සිතා නැවත ඇය දෙස බැලූවිට,
“26 ගානේ දෙන්නම් ගන්න මහත්තයා” ඇය පැවසුවේ අප හෙට්ටු කරන්නත් පෙරදීය. සමහර විට කෙසේ හෝ පොල් ගෙඩියක් විකුණා ගැනීම ඇයගේ අභිලාශය වන්නට ඇත.
“එහෙනම් 4ක් දෙන්න….. රන්දි රු.104ක් දෙන්න”
ඇය පොල් ගෙඩි 4ක් මල්ලකට දමන අතර මම මුදල් ගෙවීමට සූදානම් වීමි. රු. 100ක් තිබූ අතර මාරු කාසි 4ක් නොවිනි. එබැවින් රු. 110ක් ඇයට දීමි. ඇය ඒ මුදල අතට අරං මුදල් පෙට්ටිය පෙරලන්නට වූයේ රු. 6ක් සොයා ගැනීම සඳහාය. සමහරවිට ඒ රඟපෑමක් ද විය හැක. එහෙත් “ඉතිරි ඕනේ නැහැ, අපි යනවා” යි කියමින් අප පිටත් වීමට සූදානම් වන විට ඇය මුදල් දීමට අත දිගු කලත් එය නොගෙන අපි ආවෙමු.
රු. 6න් අපට රට ඇල්ලිය හැකිද? එහෙත් ඒ රු. 6 ඇයට යම් තරමකින් හෝ උපකාරකයක් විය හැක. ටකරන් කැබලි කිහිපයකින් සෙවිලි කරන ලද ඒ මඩුව තුලට වී උදේ ඉඳන් රෑ වනතුරු ඇය ජීවිතය හා හැපෙන්නේ තමන් ඇතුළු කිහිප දෙනෙකුගේ කුසගිණි නිවා ගන්නට විය හැක. සමහරවිට ඒ කිහිපදෙනා ඇතුලත රෝගී කෙනෙකුද සිටිනවා වියහැක. දහඩිය දමා, හවස් වනවිට ඒවා වියළි, තෙල් පාට වුනු මුහුනෙන් යුතුව සිටි ඒ අම්මා සිහිවනවිට මට හැගෙන්නේ ඇය නියෝජනය කරන්නේ අපේ රටේ බහුතරය බවයි. ඒ බහුතරය තලාපෙලා පාගා දමන්නේ ද ඔවුනට වඩා මද පමණකින් යහතින් සිටින අපේ පංතියේ අයම බව සිහිවනවිට උපදින්නේ කණගාටුවකි.
මම එහෙම කියන්නේ ඇයි? ……………………..
මම මෙහිදී වෙළඳනාම භාවිතා නොකරමි. මම එසේ සඳහන් නොකලාට ඔබ සියලු දෙනා ඒ පිළිබඳ දැනුවත් බව දනිමි.
මසා නිම කරන ලද ඇඳුම් විකිණීමට තබා ඇති සුපිරි වෙළඳ සැල් ගැන ඔබ මා දන්නෙමු. සමහර අවස්ථා වලදී දුටු පමණින් ලස්සනයි කියා සිතුනු ඇඳුමක්, රු 500ක් පමණ වටී කියා සිතුනද, සටහන් කල මිල රු 650 වුවත් මිලදී ගැනීමට අපි පසුබට වන්නෙමුද? එම සුපිරි වෙළඳ සැලේ සිටින සේවක සේවිකාවන් සමඟ හෙට්ටු කරන්නට යන්නෙමුද? නැත. නිෂ්ශබ්දව ගිණි ගණන් දී නොවටිනා දේවල් පවා මිලදී ගෙන එන්නෙමු. සමහරවිට ඒ ඇඳුම් උඩටත් නැති පහලටත් නැති විච්චූරණය. ඒත් මොකද? ගත්තේ අහවල් තැනින්නේ !!!! ලේටස්ට් පැටන් !!!!!!
ඒත් වැරදිලාවත් පදික වෙළෙන්දෙක්ගෙන් ලේන්සුවක් ගන්න ගියා නම් ?…………….
“කීයද?”
“එකක් 15යි”
“අම්මෝ මාර ගණන්නේ”
“දෙකක් ගත්තොත් 25 ට දෙන්නම්”
“10ක් 100ට ගෙනල්ලා 2ක් 25ට දෙන්න !!. ගිණි කනවා. ඕවා තමුසෙලට දිරවනවද?”
වෙළෙන්දා අසරණ පුද්ගලයකු නම් තලා පෙලා දාන්නේ ඒ අයුරිනි.
රූපවාහිනියේ උදේ ඉඳන් රෑ වනතුරු ”තොග අවසන් වනතුරු රු 195යි” කිය කියා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන එක්තරා පිටි වර්ගයක්, රු 205ක් දී ගෙදර යන ගමන් අපි ගෙන ගොස් තිබූ බව දැන ගත්තේ අම්මා පැවසූ විටදීය.
ගමේ කඩේ මුදලාලි එහෙම කලා නම් ………………………..
මම මෙයින් කියන්නට බලාපොරොත්තු වන්නේ හොරකමට ඉඩ දියයුතුයි කියා නොවන බව පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් මානුෂිකව සිතා බැලිය හැකි සහ එසේ සිතා බැලිය යුතු අවස්ථාවේදී අප එසේ නොකල යුත්තේ මන්ද?
ත්‍රී රෝද රථ රියදුරෙකු රු 10ක් වැඩිපුර ඉල්ලුවහොත් දෙස් දොවොල් තියා සමහරවිට අම්මා අප්පා පවා සිහිකරන මිනිස්සු කැබ් සර්විස් වලට ඉල්ලන ගණන් දී ගමන් යෙති.
මට දැනෙන අයුරින් පදික වෙළෙඳුන් වැනි මිනිසුන් හට හෙට්ටු කරන්නට ම ගානක් තබා මිල කියන්නට පුරුදු කර ඇත්තේ අපමය. ගණන සාධාරණයි කියා සිතුනද ඔවුන් සමග හෙට්ටු කරන්නට බොහෝ දෙන පුරුදුව සිටිති. උගුර ලේ රහ වනතුරු කෑ ගසා ඔවුන් ඉල්ලන්නේ ජීවිතය නොවේද? බොහෝ අවස්ථාවන් වලදී හොර බොරු කරන අයද සිටිති. එහෙත් එහිදී අප කල යුත්තේ විවෘත දෑසින්ද මනසින්ද ක්‍රියාකොට අපට අවශ්‍යදේ මිලදී ගැනීමය. ‘කැඩුනු බිඳුනු භාණ්ඩ ඇස වසා දීමට පදික වෙළෙඳුන් දක්ෂයෝය’ වැනි අදහසක් සමාජය තුල පවතී. මගේ පුද්ගලික මතය සහ අත්දැකීම නම් ඒ සඳහා සුපිරි වෙළෙන්දෝ ද දක්ෂයින් බවයි.
අනෙක් අතට රුපියල් මිලියන, බිලියන සහ ට්‍රිලියන වලින් සිදුවන වංචා, රටක් සහ රට වැසියන් වශයෙන් දෙනෙත් වසා බලා සිටි අපි, දෙසවන් වසා අසා සිටි අපි, උපරිමය රුපියල් 100කට යටත්ව ඉල්ලා සිටින එදා වේල වෙනුවෙන් ඒ තරම් හෙට්ටු කලයුතු වන්නේද?
පවතින ආර්ථිකයත් සමග අපටද යම් තරමක ආර්ථික අපහසුතා පවතින බව නොරහසකි. එහෙත් අපටත් වඩා අන්ත අසරණභාවයකින් යුතුව ජීවත් වන මිනිසුන් කෙරෙහි සාධාරණ අයුරකින් කටයුතු කිරීමට අපට හැකිනම් එය සාංඝික දානයක් දුන්නාට ද වඩා පිනක් වනු ඇත.

