මට දැණුනු දේ අම්මා තේරුම්ගත් හැටි ………………………………..
වරක් අම්මා අසනීප විය. ඇයගේ දියවැඩියා තත්ත්වය උත්සන්න වීම එයට හේතුවිය. මානසික පීඩනය දියවැඩියා තත්ත්වයට බලපාන බව වෛද්‍යවරුන් පෙරදී අම්මාට පවසා තිබුණි. එබැවින් ඇය රෝගී වූයේ මා නිසා යැයි මා සිත තදබල ලෙස මා හට දෝෂාරෝපණය කරන්නට විය. එය මාගේ පපුව හිරකරවන තත්ත්වයක් විය. වරක් අම්මා බලන්නට රෝහලට මාත්, තාත්තාත්, ලොකු නැන්දාත් ගියෙමු. තාත්තා අවශ්‍යතාවකට පිටතට ගියේය. අම්මාත් නැන්දාත් කතා කරමින් සිටි අතර මම අසලින් සිටියෙමි. මදින් මද මා වෙලා ගත්තේ තදබල නොසන්සුන්තාවකි. මට එතන තව දුරටත් සිටිය නොහැකි තත්ත්වයක් උදාවිය. මම විගසින් ජනේලය අසලට ගියෙමි. හදවත තෙරපූ වේදනාව, කදුළු බවට හැරී, නවතා ගත නොහැකි වූ මහා ඉකි ගැසිමක්ද සමගින් පිට විය. මට මා පාලනය කර ගත නොහැකි විය. ‘අම්මා ලෙඩ වූයේ මා නිසාවෙනි. අම්මා අද රෝහල් ගතව සිටින්නේ මා නිසාවෙනි’ වැනි සිතුවිලි මාගේ මනස කළඹාලීය. අම්මා පැමිණ මා අස්වැසුවාය. ඇය සිතුවේ අම්මා ගෙදර නැති නිසාවෙන් මා හඩන බවකි. “බය වෙන්න එපා පුතේ අම්මා මැරෙන්නේ නැහැ. ඔයාලාට හොද කල දවසක් උදා කරනතුරු අම්මාට මොකුත් වෙන්නේ නැහැ” යනුවෙන් පවසමින් (හඩමින්) ඇය මා අස්වසන්නට උත්සහ කළාය. එනමුදු මා පෙලූයේ ඇය සිතූ දේ වලින් පමණක් නොවන බව මට එදා පමණක් නොව පසුවද ඇයට වටහා දීමට නොහැකි විය. එදා ඇතිවූ තත්ත්වය නිසා ඉන් පසු අම්මා නිවසට පැමිණෙන තුරු මම ඇය බලන්නට රෝහලට නොගියෙමි. එසේ එහි නොගියේ යෑමෙන් සිද්ධ වන්නේ, මා දරුණු වේදනාවකට පත්වීම මෙන්ම අම්මාද හඩන්නට පටන් ගැනීම නිසාය.
එනමුදු පසුව අම්මා සිතා ගත්තේ වෙනත් දෙයකි. ඈ මා සමග උරණ වූ සැම විටම පවසා සිටියේ, “අරූ එක්ක වැඩ ඇරිලා එන්න ඕන නිසා මාව බලන්න ඉස්පිරිතාලෙට ආවේ නැහැ. හොදයි පුතේ ඔහොම තමයි මේ අම්මාට කරන්න ඕන” යනුවෙනි. ඇයගේ පැත්තෙන් ඈ සිතූ හැටි නිවැරදිය. එනමුදු මගේ පැත්තෙන්? ……………………….. මම එය සෑම විටම ඉවසා දරාගත්තෙමි. එසේ නොකොට වෙන කුමක් කරන්නද? පහදා දෙන්නද? පහදා දෙන්නේ මොනවා කියමින්ද? මා නිවසේ සාමාජිකයින් සමග සිටිනවාට වඩා ඔහු ඇසුරේ සිටින්නට ප්‍රිය කල බව සැබෑවකි. එනමුදු මේ සිද්ධියේදී මා වැටුනේ නොසිතූ තත්ත්වයකට බව දන්නේ මාත් ඔහුත් පමණකි.
ඔවැනි අවස්ථාවන් ජීවිතයේ බොහෝවිට උදා වේ. එවිට කිරීමට ඇත්තේ මුණිවත රැකීම ම පමණි. කෙසේ වුවද ඒ දෙයින් පසු මම සිතා ගත්තේ ආයෙත් එවන් අවස්ථාවක් උදා වුවහොත් මට කුමන තත්ත්වයක් උදා වුවද අම්මාගේ සිතසුව පිණිස එක සිතින් ක්‍රියා කරන බවටය.
නැවත වාරයක් 2008 වසරේ මුල් භාගයේදී ඇයට රෝහල්ගත වන්නට සිදුවිය. එකල, තාත්තාට අම්මා බැලීමට රෝහලට ඒමට අපහසු වූයේ ඔහු අවශ්‍යතාවකට ගමේ ගොස් සිටි බැවිනි. උදෑසන 6 වනවිට අප දෙදෙනා මොටර් සයිකලයෙන් කොළඹ මහා රෝහල වෙත පැමිණීමත්, ඔහු වාට්ටුවෙන් පිටත සිටියදී මා ගොස් අම්මා බලා ගෙනා කෑම ඇයට දී කථා කර ඒමත් ඇය නිවසට පැමිණෙන තුරාවටම නොපිරිහෙලා ඉටු කළෙමු. සවස ද ආහාර රැගෙන ඇය බැලීමට අපි දෙදෙනා ගියෙමු. ඔහු වාට්ටුවෙන් පිටත සිටින බව ඇය දැන සිටියාය. වරක් මා ඇගෙන් ‘ඔහු කැදවන්නදැ’යි ඇසුවද ඇය එය ප්‍රතික්ෂේප කලාය. එය මාගේ සිත රිදවන්නක් විය. එනමුදු හිමිදිරි උදෑසන මා කැදවාගෙන රෝහලට ඒම ඔහු කිසි දිනෙක ප්‍රතික්ෂේප කලේ නැත. එහෙත් මා පසුව නැගනියන්ගෙන් දැන ගත්තේ ‘අක්කා පව් නේද?’ යනුවෙන් පවසමින් එම සිද්ධිය ඔවුන් සමග අම්මා පැවසූ බවය. තදබල ලෙස විරෝධය පාමින් සිට එවන් අවස්ථාවකදී, එක්වරම සුහදශීලි වීම නුසුදුසු යැයිද, එසේ වුවා නම් ඔහු වුවද ‘මාව ඕනෑ කරදරයකදී තමයි’ යනුවෙන් සිතනු ඇතැයිද අම්මා සිතන්නට ඇත. ඇත්තටම ඇය ඒ අවස්ථාවේදී කල දේ නිවැරදි යැයි අද මට පෙනේ. නමුදු එදා දුටුවේ එහි අනෙක් පැත්තයි. ඇයගේ සිත මහා දරුණු සිතක් යැයි එවිට මට සිතුණද, ‘කමක් නැහැ අම්මානේ’ කියා සිතා සිත හදා ගත්තෙමි. නමුදු ඇය කර ඇත්තේ අවස්ථානෝචිතව වඩාත්ම සුදුසු දෙයයි. අපට අවසර දෙන තෙක් වහෙන් ඔරෝ වැඩ වලට සිය අකමැත්ත එකහෙලා ප්‍රකාශ කලාය.
දෙමව්පියන් මොනදේ කලද අප නුවණින් සිතා බලා ක්‍රියා කල හොත් ඇතිවිමට තිබෙන දරුණු තත්ත්වයන් මග හරවා ගැනිමේ අවස්ථාවන් විරල නොවන බව මම අත්දැකීමෙන් දනිමි. මුල් වතාවේ අම්මා අසනීප වූයේ 2004 වසරේදීය. එකලට වඩා පසුව අම්මා අසනීප වනවිට වසර හතරකින් අප මුහුකුරා ගොස් සිටීම නිසාත්, ප්‍රශ්නයකදී වඩා කල්පනාකාරීව ක්‍රියා කිරීමට හැකියාව ලැබී තිබු නිසාත්, එවර අපට අම්මාගේ සිත සතුටු වන ලෙසත්, පැහැදෙන ලෙසත්, කටයුතු කිරීමට හැකිවිය. එය අම්මාගේ කැමැත්ත ගැනීමට අප දැමු අඩිතාලමේ එක් ශක්තිමත් ගලක් වූ බව අදවන විට පෙනී යයි.
අපි දෙදෙනා මෙසේ වරින් වර ඒ අඩිතාලම ශක්තිමත් කළෙමු. ඒ සදහා මූලික වූයේ අප දෙදෙනාගේ තිබූ ඒකමතික භාවයත් සමගි සම්පන්න බැදීමත්ය. කිසිම කෙනෙකු හට ඒ බැදීම දුර්වල කිරීමට නොහැකිවිය. ඒ අප දෙදෙනා යහපත් වූ අවබෝධයකින් සිටි නිසාය. මා හට ඔහුට පෙර පිරිමි යහළුවන් නොසිටී තරම්ය. නමුදු පසුව රැකියාවේදී මෙන්ම පාඨමාලාවන් හදාරන විටද බොහෝ මිතුරන් ඇතිවිය. ඒ කිසිම විටෙක ඒ පිළිබද ඔහු තුළ කලබලයක් නොවීය. ඔහු ගැන පවසන්නේ, නම් ඔහුට මිතුරන් මෙන්ම මිතුරියන්ද බොහෝ ප්‍රමාණයක් සිටී. ඒ සියල්ලන්ම පාහේ දැන් මාගේත් මිතුරන්ය. මාගේ සේවාස්ථානයේ පිරිසත් ඔහුගේ මිතුරන් අතර සිටී. ඒ දේවල් කෙසේ වුවද, “අප දෙදෙනා යනු වෙනම රාමුවකි, අනෙක් සියල්ලන්ම ඒ රාමුවෙන් පිටත වේ” යන පදනම මත සිටීම අපි හැම විටම වැදගත් කොට සලකමු. යම් දිනෙක අපගේ දරුවන් සම්බන්ධයෙන් ද අපගේ මතය වනු ඇත්තේද එයයි. එයට හේතුව බොහෝ නිවෙස් තුල දෙමව්පියන්ගේ ඒකමතික භාවයක් නොමැති කම නිසාවෙන් දරුවන් එක් අයෙකු තුලට ඇද ගැනීමට දෙමවිපියන් දරන උත්සහයයි. දෙමවිපියන්ගේ ඇති අසමගිය දරුවන්ට එවිට ඉතාමත් අයහපත් ලෙස බලපාන බව එම පවුල් දෙස බලන කල මොනවට පැහැදිලි වේ.
